ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

පසුගිය නඩු දිනයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් කරනු ලැබූ නියෝගයකට අනුවයි සැකකාර සුරේෂ් සලේ මහතා අධිකරණයට රැගෙන විත් තිබෙන්නේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ගොනු කර තිබෙන නඩුකරයේ තුන්වන සැකකරු ලෙස සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර තිබෙනවා.
මේ අතර පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳ නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද කැදවීමට නියමිතයි.