දැරණියගල, නූරි පාරේ නිවසක මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ එහි සිටි පිරිසක් අතර ඊයේ ඇති වූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් අලුත් තොරතුරු අනාවරණ වනවා.

නෙත් නිව්ස් මේ පිළිබඳ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F U වූට්ලර් මහතා කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරීම නිසා මෙම කලහකාරී තත්ත්වය ඇති වූ බවයි.

ඇති වූ කලහයේදී පොලිස් නිලධාරීන් හතර දෙනකු තුවාල ලැබූ බවද ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණු බවද ප්‍රකාශ කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන පරිදි පොලිස් නිලධාරීන් මෙම වැටලීම සඳහා ගොස් ඇත්තේ ඔවුන් වෙත ලැබුණු නිර්නාමික පෙත්සමකට අනුවයි. වටලන ලද නිවසේ මත්ද්‍රව්‍ය තිබෙන බවට හෝ එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කෙරෙන බවට පෙත්සමෙන් දැනුම් දී තිබුණු බවද ප්‍රකාශ කෙරුණා.

ඒ අනුව කෙරුණු වැටලීමේදී සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට විරෝධය පළකරමිනුයි එහි සිටි පිරිස් කලහකාරීව හැසිරී තිබෙන්නේ.

ඇතිවූ මෙම කලහයේ සමහර වීඩියෝ දර්ශනද සමාජ මාධ්‍යයේ හුවමාර වූණා.

පොලිස් නිලධාරියෙකුගේ මුදල් පසුම්බියේ තිබී මත්ද්‍රව්‍ය සොයා ගන්නා ආකාරයක් ද එහි නිරූපණය වූ අතර කලහකාරීව හැසිරුණු පිරිස් චෝදනා කළේ පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය හඳුන්වාදී නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීමක් සිදුකල බවටයි.

මෙම කලහය අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන සිටි තරුණයන් මුදා හැරීමට පොලිස් නිලධාරීන්ට සිදුව තිබෙනවා.

එලෙස මාංචු ගලවා ඔවුන් මුදා හැරී වහාම ඔවුන් පොලිස් නිලධාරීන්ට පහර දී ඇති බවයි ගවේෂණයේදී හෙළි වූ අලුත් තොරතුරු වලින් කියවෙන්නේ.

මේ අතර පොලිස් නිලධාරියෙකුගේ මුදල් පසුම්බියේ මත්ද්‍රව්‍ය තිබුණේ කෙසේදැයි නෙත් නිව්ස්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F U වූට්ලර් මහතාගෙන් ප්‍රශ්න කළා.

ඔහු පැවසුවේ මුදල් පසුම්බිය තුළට මත්ද්‍රව්‍ය දමා ඇත්තේ කලහකාරීව හැසිරුණු පිරිස් විසින් බවයි.

පසුව ඔවුන් විසින්ම එය පෙන්වා දෙමින් පොලිස් නිලධාරීන්ට චෝදනා කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

පසු අවස්ථාවකදී කලහකාරීව හැසිරුණු කිහිප දෙනෙකුද තුවාල සිදුවූ බව පවසමින් රෝහල්ගතව ඇති අතර එහිදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

තරුණයන් හතර දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලකලහකාරී ලෙස හැසිරුණු පිරිස් විසින් පොලිස් නිලධාරියෙකුගෙන් උදුරා ගත් මුදල් පසුම්බියද රෝහල් ගතවීමට පෙර ඔවුන් විසින් දැරණියගල පොලිසිය වෙත භාර දී ඇති බවයි පැවසුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවනවා.