දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සිට රදැල්ල දක්වා සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතුවලට පවතින අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා කළුගල් ලබාගැනීමට බාධා එල්ල වී ඇති බවයි ව්‍යාපෘති භාර පෞද්ගලික සමාගමේ තාක්ෂණික නිලධාරී අතුල විජේසිංහ මහතා පැවසුවේ.

කෙසේ වෙතත්, ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ වන විට සියයට 60 කින් පමණ අවසන් කර ඇති බවද ඔහු සඳහන් කළා.

ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ කොටගල දුම්රිය ස්ථානයේ සිට සේවා සැපයුම් දුම්රියක් මගින් ප්‍රවාහනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉදිරියේදී වර්ෂාපතනය අඩු වී වියළි කාලගුණයක් පැවතුණහොත්, මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට අපේක්ෂා කරන බවද තාක්ෂණික නිලධාරී අතුල විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ජයිකා ආයතනයේ නිර්දේශ මත මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබන්නේ, ස්ථායිකරණ ක්‍රමවේදය මගින් නායයෑමේ අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේයි. ඒ අනුව කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතර පිහිටි ග්‍රේග්ලි වතුයායේ නායගිය ස්ථානයේ මේ වන විට වැඩකටයුතු සිදු කෙරෙනවා.