දිට්වා සුළි කුණාවුට හේතුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා රජයෙන් අනුමත කළ රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල සුවිශේෂී ගැටලුවකදී හැර සෙසු සියලු අවස්ථාවල එම ප්‍රතිලාභීන්ට මැයි මස අවසන්වීමට පෙර ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට සහ පූර්ණ හානියට පත් නිවාසවල පදිංචිකරුවන් වෙත වන්දි ගෙවීමේ සහ නව නිවාස ලබාදීමේ කටයුතු සම්බන්ධයෙන් වූ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදීයි.
පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවසක් ලබාදීමේ හෝ නිවසක් මිලදීගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ලබාදීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමුවී තිබෙනවා. මෙම වන්දි මුදල් ගෙවීම කඩිනම් කරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ.
තවමත් කඳවුරුවල ජීවත්වන ජනතාවට නව නිවසක් ලබාදෙනතුරු තාවකාලික නිවාසවල පදිංචිකරවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.
ඊට සුදුසු ස්ථාන පිළිබඳ සොයා බලා එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
අධි අවදානම් කලාපවල ජීවත්වන ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරිම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, නව නිවසක් මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට වන්දි ලබා නොගත් පදිංචිකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.




