වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ දුම්රිය වර්ජනය අවසන් කර තිබෙනවා.

ඉකුත් 17වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වූ මෙම වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12ට අවසන් වුණා. දීර්ඝ කාලයක සිට දුම්රිය ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු පිළිබඳව බලධාරීන් ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව වැඩවර්ජනයේ නිරත වූ බවයි එම වෘත්තීය සමිති පැවසුවේ.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා.

''අපේ වැඩවර්ජනයේ මූලික බලාපොරොත්තුව වුණේ, මේ දෙපාර්තමේන්තුවේ පරිපාලනය පිළිබඳ පවතින ගැටලු විසඳන්න කියන එක. ඒක අපි මීට කලින් විටින් විට ලිඛිතව දැනුම් දීලා, සාකච්ඡා මගින් දැනුම් දීලා ඒව විසඳන්නේ නැති නිසා තමයි අවසානයේ අපි සංකේත වැඩවර්ජනයකට ආවේ. නමුත් ඒ ප්‍රශ්න විසඳනවා වෙනුවට දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නියෝජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යවරයා නුසුදුසු කාලසටහන යතාවත් හරි, සියලු දුම්රිය ධාවනය කරනවා කියමින් තමයි මේ පුරසාරම් දොඩවන්නේ. සියල්ල හරි කියලා කියන ආණ්ඩුවේ වෘත්තීය සමිති නායකයා, අතීතයේදී අපිත් එක්ක වෘත්තීය සටන්වල හිටපු වෘත්තීය සමිති නායකයා අද ඔහුට යන එන මං නැතුව ඔහු කියනවා, ධාවනය හරි, කාර්යාල දුම්රිය හරි, සියල්ල හරි කියනවා. දැන් මේ කියනවා නම් රෑ 12න් පස්සේ අපේ සංකේත වැඩවර්ජනය ඉවරයි. අදින් පසුව මේ දුම්රිය කාලසටහන එහෙනම් යතාවත් කරලා පෙන්වන්න. උතුරු මාර්ගයේ නියමිත දුම්රිය ටික ධාවනය කරලා පෙන්වන්න. කාර්යාල දුම්රිය සියල්ල ධාවනය කරලා පෙන්වන්න''

කෙසේවෙතත් වර්ජනය සම්පූර්ණයෙන්ම දේශපාලනික බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ.

මෙය ඉතිහාසයේ අසාර්ථකම දුම්රිය වර්ජනය බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

"කවුද වෘත්තීය සමිති අරගලය කෝල් කරන්නේ කියලා. ස්ට්‍රයික් එක කෝල් කරන්නේ කවුද කියන එක ගත්තොත් එහෙම, ඕගොල්ලො නම වශයෙන් බලන්න. මොන වෘත්තීය සමිතියද කෝල් කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම කියලා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයක් තියෙනවා කෝල් කරලා. එතකොට ඒගොල්ලෝ මීට කලින්, සති දෙක තුනකට කලින් මොකක්ද කළේ? පැහැදිලිවම 22ට එරෙහිව එකතු කරලා, වෘත්තීය සමිති එකතු වෙලා අත්සන් ලේඛනයක්, 22ට එරෙහිව අත්සන් කරපු වෘත්තීය සමිතියක්. එතකොට ඒගොල්ලන්ගේ හැමවෙලේම සටන් පාඨයේ තියෙන්නේ 22ට එරෙහිව. එතකොට මේ වෘත්තීය සමිති අරගලයත් ගිහිල්ලා හේතු කරන්නේ ඒගොල්ලෝ 22ට එරෙහිව, ඒගොල්ලෝ හිතනවා ජනතාව පිළිගනී කියලා ගොඩක් වෘත්තීකයින් මේ 22ට එරෙහිවයි කියන එක එළියට හඟවන්න. ඒ කියන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් පැහැදිලිවම කරන වෘත්තීය අරගලයක්. ඊට පස්සෙත් බලන්න තවත් අනෙක් වෘත්තීය සමිතිවල නම් කිව්වොත් එහෙම, ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමය. පොදුජන කියපු ගමන් දන්නවා මොකක්ද වෘත්තීය සමිතිය කියලා. ඊළඟට දුම්රිය සමගි සේවක සංගමය. සමගි කියපු ගමන් දන්නවා කවුද වෘත්තීය සමිතිය, කවුද කොන්ට්‍රෝල් කරන්නේ, මොකටද ස්ට්‍රයික් කරන්නේ කියලා. එතකොට පැහැදිලිවම මේක දේශපාලන අරමුණක් වෙනුවෙන් කරන වෘත්තීය අරගලයක්..."