රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.
මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 15 ක් ගොනු කර තිබූ අතර ඒවා දින දෙකක් තිස්සේ ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග වුණා.
අද දින වාචික දේශන ඉදිරිපත් කිරිම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිත දේශන තිබේ නම් ඒවා සදූදා පස්වරු 12.00 ට පෙර ගොනු කරන ලෙස පාර්ශ්වකරුවන්ට නියම කළා.
ඉන් අනතුරුව මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉදිරියේ දී යොමු කරන බවත් විනිසුරු මඩුල්ල නිවේදනය කළා.
අදාල පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, මීඩියා ලෝ ෆෝරම්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා සංවිධානය ඇතුළු පාර්ශව 15 ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
එම පෙත්සම් වලින් සදහන් කර තිබුණේ මෙම සංශෝධිත පනත් කෙටුම්පත තුළින් අධිකරණ බලය කප්පාදු වීම මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වීමක් සිදුවන බවයි.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා තිබෙනවා.



