රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබෙනවා.

මෙම පෙත්සම් ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග වනවා.

අදාල පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 14 ක් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතා පරමාධිපත්තිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි.

ඊට අමතරව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමද මෙම පනත් කෙටුම්පත හරහා කප්පාදු වන බවත් පෙත්සම් වල සඳහන් වනවා.

ඒ අනුව අදාල පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එය අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ගොනුකිරීම සඳහා අද දිනයේ අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 3.00ට පෙර එම ලිඛිත දේශන ගොනුකිරීමට පියවර ගන්නා ලෙසයි අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කර ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය ඊයේ දිනයේ අවසන් කෙරුණා.

පෙත්සම් විභාගය අවසන් කරමින් විනිසුරු මඬුල්ල පෙත්සම්කරුවන්ට නියෝග කර ඇත්තේ, ඒ සඳහා වන ලිඛිත දේශන ඇත්නම් අද දිනය තුළ ඒවා ඉදිරිපත් කරන ලෙසයි.

අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව ද අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල එහිදි සඳහන් කර තිබෙනවා.