විදේශගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන "දෙහි බාලේ" සහ "කළු මල්ලි" නමැත්තන්ගේ මෙහෙයවීම මත දිවයින පුරා මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ පැතිරවූ ඔවුන්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ
ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු හදිසි තොරතුරකට අනුව සිදුකළ ක්ෂණික වැටලීමකදීයි.

එම වැටලීම සිදුකර ඇත්තේ මාතර, නාවිමන, දැලිඅද්දර පාරට හැරෙන හංදියේදීයී.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 01 යි ග්‍රෑම් 36 ක්, ප්‍රබල රිපීටර් වර්ගයේ ෂොට්ගන් අවියක්, 9mm පිස්තෝල සඳහා භාවිත කරන ජීව උණ්ඩ 47 ක්, T56 ජීව උණ්ඩ 51 ක් සහ ජාවාරමට යොදාගත් යතුරුපැදි දෙකක් සොයාගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරුවන්
නාවිමන දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

පාතාල කල්ලි නායකයන්ගේ උපදෙස් මත දකුණු පළාතේ සිදුකිරීමට සැලසුම් කර තිබූ මහා පරිමාණ අපරාධ රැසක් මෙම වැටලීමත් සමග ව්‍යර්ථ වූ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, වැඩිදුර විමර්ශන සඳහා මාතර පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.