ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූල පත්මේන්ද්‍ර කුමාර පතිරණ මහත්මියගේ මරණය සැකකටයුතු බවට පවසමින් ඇගේ මව පිළියන්දල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.
පිළියන්දල, වෑවල, ගංගාරාම පාරේ සී.අයි. ගාර්ඩන්ස්හි පිහිටි නිවසකදී චූල පත්මේන්ද්‍ර මහත්මිය මියගොස් තිබු බවයි පොලීසිය පැවසුවේ.
ඇය පෙරේදා දින බත්තරමුල්ල ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක පැවැත්වුණු උත්සවයකට සහභාගී වී ඇති අතර, පසුව ඊයේ අලුයමයි පිළියන්දල, වෑවල, ගංගාරාම පාරේ සී.අයි. ගාර්ඩන්ස් හි පිහිටි නිවස වෙත පැමිණ ඇත්තේ.
මෙම නිවස ව්‍යාපාරිකයෙකුට අයත් එකක් බවත්, චූල පත්මේන්ද්‍ර මහත්මිය නිවසට පැමිණ ඇත්තේ එම ව්‍යාපාරිකයා සමග බවත් පැවසෙනවා.
චූල පත්මේන්ද්‍ර මහත්මිය ඇඳක මුනින් අතට නිදා සිටින අවස්ථාවේදී ව්‍යාපාරිකයා ඇයව අවදි කිරීමට උත්සාහ දරා ඇති බවයි පැවසෙන්නේ.
එහෙත් ඇය ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත්, පරීක්ෂා කිරීමේදී කොට්ටය මත ලේ වැගිරී තිබුණු බවත් පැවසෙනවා.
ඒ අනුව 19 90 සුව සැරිය ගිලන් රථයක් ගෙන්වාගෙන ඇති අතර, එහි සෞඛ්‍ය සේවකයන් පරීක්ෂා කිරීමෙන් පසු හඳුනාගෙන ඇත්තේ ඇය මියගොස් ඇති බවයි.
පසුව ව්‍යාපාරිකයා විසින්ම ඒ බව පිළියන්දල පොලීසිය වෙත දැනුම් දී තිබෙනවා.
මරණය සැකකටයුතු බවට පැවසෙන හෙයින් ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද සිදු කිරීමට නියමිතයි.
ප්‍රවීණ නිරූපණ ශිල්පිනියක වූ චූල පත්මේන්ද්‍ර කුමාර පතිරණ මහත්මිය මියයන විට 46 වන වියේ පසුවුණා.




