නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුව පැවති උප සභාපති ධූරය සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ රෙන්ගසාමි කාමරාජා මහතා තේරී පත්ව තිබෙනවා.
සභා රැස්වීම් ශාලාවේදී අද (16) පැවති විවෘත ඡන්ද විමසීමකදී ඒ මහතා ඡන්ද 11ක් ලබා ගනිමින් මෙලෙස තේරී පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
එම සභාවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ සමගි ජන බලවේගයේ නඩරාජා සිවකුමාර් මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා මෙම ඡන්ද විමසීම පවත්වා තිබෙනවා. මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි මෙම ඡන්ද විමසීම සිදු කෙරුණේ.
උප සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් තරග කළ වීරප්පන් මංජුලා මහත්මියට ඡන්ද 07ක් පමණක් හිමිවුණා.
මෙම ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියක් සභාවට නොපැමිණි අතර, ස්වාධීන මන්ත්‍රී ඩැනියෙල් නොයෙල් ජෙනස්ටර් මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා.
ජාතික ජන බලවේගය බලය පිහිටුවා ඇති නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීධූර 20කින් සමන්විතයි.


