අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර කොමිෂන් සභාවෙන් පිටතට පැමිණියා.

කොමිෂන් සභාව වෙත පැමිණීමට පෙරවරුවේ නිවසින් පිටවන අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තීන්දුව සාධාරණ නම් තමන් නිදහස් කළ යුතු බවයි.

මහින්ද රාජපක්‍ෂ මහතාට පසුව හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියා.

හිටපු ජනාධිපතිවරයාට සහාය දක්වන පිරිස් ද කොමිෂන් සභාව ඉදිරිපිට රාක් වි සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

මේ අතර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය දැක්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණ සිටින පිරිස් කියාසිටියේ කෘතගුණ සැලකීම පිණිස තමන් සෑම විටම මහින්ද රාජපක්‍ෂ මහතා සමග සිට ගන්නා බවයි.

හිටපු අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන්ද මහා සංඝ රත්නයද තවදුරටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට රොක් වී සිටිනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැදවා ඇත්තේ කුප්‍රකට එයාර් බස් ගණුදෙණුව පිළිබද ප්‍රශ්න කිරීම සදහායි.

එම ගණුදෙණුවේදි ලබාගත් බව කියන අල්ලසෙන් කොටසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ලබාදුන් බව මීට පෙර කෙරුණු ප්‍රශ්න කිරීමකදී කපිල චන්ද්‍රසේන මහතා විසින් ප්‍රකාශ කළේ යැයි කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන්නා.

කෙසේවෙතත් පසු අවස්ථාවකදි දිවුරුම් ප්‍රකාශයක්ද ඉදිරිපත් කරමින් කපිල චන්ද්‍රසේන මහතා අධිකරණයට කියාසිටියේ අල්ලස් කොමිසම අදාළ ප්‍රකාශය තමන්ගෙන් ලබාගත්තේ බලපෑම් කර බවයි.

කුපුකට එයාර් බස් ගණුදෙණුව සිදුවුණේ කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස සිටි සමයේදීයි.

ඒ සම්බන්ධ නඩුවට අදාළව කපිල චන්ද්‍රසේන මහතා දින 50කට වැඩි කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටියා.

අභිරහස් ලෙස මියගොස් සිටියදි ඔහුගේ සිරුර සොයා ගැණුනේ ඇප මත නිදහස ලබා දින දෙකකට පසුවයි.

මෙම මරණය පිළිබද විමර්ශන තවදුරටත් සිදු කෙරෙනවා.