ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ද ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර සැප්තැම්බර් 07 වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සූර්යයා සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද දහවල් 12.09ට නිට්ටඹුව, අල්ගම, මල්වාන, අරණායක, මීගහකිවුල සහ පානම්කාඩු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.