පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මර්දනය සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් 17ක් යොදවා ඇති බව මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

පාතාල කණ්ඩායම් අතර සිදුවන වෙඩි තැබීම් මර්දනය සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

අදාළ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ප්‍රශ්නය ඉදිරිපත් කළේ මෙලෙසයි.
"අපි දකිනවා ගරු ඇමතිතුමා මේ අපරාධ ක්‍රියාත්මක කරන කණ්ඩායම් තවත් අපරාධ ක්‍රියාත්මක කරන කණ්ඩායම් ඉලක්ක කරගෙන මේ ප්‍රහාර එල්ල කරනකොට සාමාන්‍ය කිසිම වරදකට සම්බන්ධ වෙච්ච නැති අයත් මරණයට පත්වෙනවා. හැබැයි ගරු ඇමතිතුමා 2024 ඉඳන් 2025, 26 වෙන කාලසීමාව තුළ තමයි වැඩි ප්‍රමාණයක් මරණයට පත්වෙලා තියෙන්නේ. එතකොට මේ පිළිබඳව ඔබතුමන්ලා මොකක් හරි ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවද? හඳුනාගෙන තියෙනවද ඇයි මෙච්චර මේ මරණ ප්‍රමාණය මේ තරම් ඉක්මනට වැඩි වුණේ කියන එක පිළිබඳව යම් විමර්ශනයක් කරලා තියෙනවද?"
මේ ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා.

"ගරු කථානායකතුමනි, මේ පිළිබඳව විමර්ශනයක් කරලා තියෙනවා. විශේෂයෙන් ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ දරුවන් දෙදෙනෙක් පහුගිය දිනක මේ පාතාල ක්‍රියාකාරකයන් විසින් ඝාතනය කරනු ලැබුවා. ඒ පිළිබඳ අපේ කණගාටුව ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේ. ඒ වගේම විශේෂයෙන් එවැනි ඝාතන පාතාල ක්‍රියාකාරකයන් අතර සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇතිවෙන ගැටුම් හේතුවෙන් තමා මේ ඝාතන සිද්ධ වෙන්නේ. අපි හැම අවස්ථාවකම උත්සාහ කරන්නේ මේ ගැටුම් නතර කරලා මහජන ආරක්ෂාව තහවුරු කරන්න. මේ පිළිබඳව අපි විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් 17 ක් යොදවලා තියෙනවා මේ අපරාධකරුවන් පිළිබඳව. මේ අපරාධකරුවන් ක්‍රියාත්මක වෙන්නේ විදේශගතව ඉඳිමින්. ඒ හින්දා මේ වෙනකොට එක පැත්තකින් අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගන්න මෙහෙයුම් යාන්ත්‍රණය ශක්තිමත් කරලා තියෙන අතරම මේ විදේශගතව මෙහෙයුම් කරනු ලබන අපරාධකරුවන් මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සමහර තොරතුරු ගරු මන්ත්‍රීතුමනි මේ වෙලාවේ සභාවට හෙළි කරන්න නොහැකි වුණත් විශේෂ කණ්ඩායම් අපි මේ වෙනකොට ඒ අපරාධකරුවන් රැඳී සිටින රටවල්වල ඒ ජාත්‍යන්තර පොලීසියත් සමග ඒකාබද්ධව මේ මෙහෙයුම් යාන්ත්‍රණය ශක්තිමත් කරලා තියෙනවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇතිවෙන ගැටුම් උග්‍රවීමේ ප්‍රතිඵලයක් හැටියට තමා මේ වෙඩි තැබීම් සිද්ධ වෙලා තියෙන්නේ. කෙසේ වුවත් මේ මේ වර්ෂය වෙනකොට අපි විශාල වශයෙන් මේක පාලනය කරලා තියෙනවා. මේ මනුෂ්‍යඝාතන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා 26 වර්ෂයේ, ඒක 18 ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඔබ කිව්වා වගේම අවාසනාවන්ත සිද්ධියක් වුණා දරුවෝ දෙන්නෙක් මේ කිසිම සම්බන්ධයක් නැතුව මේ පාතාල ක්‍රියාකාරකයන් විසින් වෙඩි තබලා ඝාතනය කරලා තිබුණා. ඉතින් මේ පිළිබඳ සියල්ල පිළිබඳව විමර්ශනය වෙනවා වගේම මේ පාතාල අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගෙන ඔවුන්ට නිසි දඬුවම් දීම සඳහා අපි ගරු අධිකරණ ඇමතිතුමා පෙරේදා දිනයේ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පනත ගෙන ආවා. මේ පනත අවශ්‍යයි, මොකද මේ පාතාල අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දැවැන්ත ව්‍යසනයක් මේ සමාජයට සිදුකරමින් ඉන්නවා. මේකට එරෙහිව අණපනත් සංශෝධනය කරමින්, නීතිය ක්‍රියාවේ යොදවමින්, විමර්ශන පුළුල් කරමින්, අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරලා තියෙනවා. මෙහෙයුම් යාන්ත්‍රණය ශක්තිමත් කරලා තියෙනවා. STF එකේ කණ්ඩායම් නිරන්තරයෙන් කණ්ඩායම් 17 ක් මේ පාතාල ක්‍රියාකාරකයන් මෙහෙයුම් සඳහා යොදාගෙන තියෙනවා. ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය වගේම මේකට සම්බන්ධ අනෙකුත් විමර්ශන ආයතන ශක්තිමත්ව ක්‍රියාත්මක වෙමින් පවතිනවා.