ලෝකයා කතා කරන ඉතිහාසය වෙනස් කළ ක්රිකට් ජයග්රහණයක් ශ්රී ලංකාවට අත්කර දීමට ඉහළම දායකත්වයක් ලබා දුන් පවන් රත්නායකගේ නම රාවල්පින්ඩි ක්රිකට් ක්රීඩාංගණයේ නිල ගෞරව පුවරුවට එක් කරනු ලැබ තිබෙනවා.
පකිස්ථාන තුන්කොන් ක්රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව ඊයේ පැවති තරඟයේදී ශ්රී ලංකාව හිමිකර ගත්තේ අසාමාන්ය ජයග්රහණයක්.
ලකුණු 430 ක ඉලක්කයක් හඹා යමින් හිමිකරගත් මෙම ජයග්රහණය සඳහා ශ්රී ලංකා පිලට පවන් රත්නායකගෙන් ලැබුණු දායකත්වය ඉමහත්.
ඔහු එහිදී හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සහිතව පන්දු 106කදී ලකුණු 130ක් ලබා ගත්තා.
තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ ද පවන් රත්නායකයි.
එහෙත් ඊටත් එහා ගිය වටිනාකමක් ඔහුගේ මෙම සුපිරි ඉනිමට දැන් ලැබී තිබෙනවා.
ඒ ඔහු ක්රීඩා කළ මෙම සුපිරි ඉනිම හේතුවෙන් ඔහුගේ නම රාවල්පින්ඩි ක්රිකට් ක්රීඩාංගණයේ නිල ගෞරව පුවරුවට එක් කිරීමෙන්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුණු 429 ක් රැස් කළා.
ශ්රී ලංකාව ඊයේ රාත්රී එංගලන්තය පරාජය කරමින් තරගය ජය ගත්තේ කඩුළු 8 ක් දැවී ලකුණු 430 ක් රැස් කර ගනිමින්.
එහිදී අවිශ්ක ප්රනාන්දු සහ දසුන් ශානක ලකුණු 97 බැගින් රැස් කළා.
ශ්රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ඉනිමක් ක්රීඩා කළේ ජනිත් ලියනගේයි. ඔහු පන්දු 27කදී ලකුණු 61ක් ලබාගත්තා.
එම තරගය ශ්රී ලංකාව ඉතිහාසය වෙනස් කළ තරගයක් වුණා.
ශ්රී ලංකා කණ්ඩායම එක්දින ක්රිකට් තරඟයකදී හඹා ගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්යාව මෙම තරගය වීම එක් විශේෂත්වයක්.
ලෝකයේ ඕනෑම කණ්ඩායමක් හඹා ගොස් ශ්රි ලංකාව ජයගත් දෙවන වැඩිම ලකුණු සංඛ්යාවද මෙය වනවා.
මේ අතර පවන්, දසුන්, ජනිත් සහ අවිශ්කගේ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ශ්රී ලංකාව අත්කර ගන්නා ලද ඓතිහාසික ජයග්රහණය ඉහළින් සැමරීමට ශ්රී ලංකා කණ්ඩායමට හිමිකම් ඇති බව ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාර පවසනවා.
එමෙන්ම ජයග්රහණයේ ප්රීතිය විඳගන්නා අතරතුරම, ඉදිරි අභියෝග ජයගැනීම සඳහා කණ්ඩායමේ අවධානය යොමුවිය යුතුව ඇති බවයි සිය ‘X‘ ගිණුමේ සටහනක් තබමින් සංගක්කාර පෙන්වා දෙන්නේ.
ලබන වසරේ ඔක්තෝබර් මාසයේදී දකුණු අප්රිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් කණ්ඩායම ශක්තිමත් කිරීමේ දීර්ඝකාලීන සැලසුම් ක්රියාත්මක කිරීමේ වගකීම ශ්රී ලංකා ක්රිකට් බලධාරීන් සතු බවයි ඔහු සදහන් කළේ.
මේ අතර ශ්රී ලංකාව ලැබූ මෙම සුපිරි ජයග්රහණය සම්බන්ධයෙන් ක්රීඩා ලෝලින් පිරිසක්ද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.




