2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අද දිනට වසර හතක් සම්පූර්ණ වනවා.
එම මිලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිත 275 කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වුණා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර 07ක් සපිරෙන අද දිනයේ දිවයින පුරා සෑම කතෝලික දේවස්ථානයකම සිහිකිරීමේ වැඩසටහන් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
පෙරවරු 8:45 ට ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහි කරමින් සියලු දෙව් මැදුරුවල සීනු නාද කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
ප්‍රධාන සිහිකිරීමේ වැඩසටහන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය අසල අද පෙරවරුවේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ එක් ඉලක්කයක් බවට ද පත් වූණා.
ඊට සමගාමීව ත්‍රස්ත ප්‍රහාරයේ තවත් ඉලක්කයක් බවට පත් වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේද අද පෙරවරුවේ විශේෂ දිව්‍ය පූජා යාගයක් සහ සිහි කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිතයි.
ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා පැවැත්වෙන යැදුම් පාගමනක් අද පස්වරු 4:00 ට මීගමුව මාරිස්ටෙලා ක්‍රීඩාංගනයෙන් ආරම්භ වී කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ගමන් කිරීමට ද නියමිත බවයි ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසුවේ.
මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන විමර්ශන නිවැරදිව ඉදිරියට ගෙනයාමට නිලධාරීන් උත්සාහ කළද එම විමර්ශන නොමඟ යැවීමට සහ විමර්ශන නවතාලීමට විවිධ බාහිර පාර්ශව උත්සාහ කරමින් සිටින බවද ප්‍රකාශ කෙරුණා.




