බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු අවපීඩනයක් දක්වා දැන් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ද දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්‍ෂා කළ හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය පැවසුවේ.

"බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, උතුරු අක්ෂාංශ 15.3 ක් සහ නැගෙනහිර දේශාංශ 89.7 ක් ආසන්නයේ කේන්ද්‍රගතව පවතිනවා. මෙම පද්ධතිය අද දිනයේදී තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමටත්, එය හෙට දිනය වන විට, එනම් ඔක්තෝබර් මස 23 වන දින වන විට, බෙංගාල බොක්ක පටිහිර මධ්‍යම මුහුදු ප්‍රදේශයේදී ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ ඉහළ හැකියාවක් පවතිනවා. මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවත්, මෙම පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් අපි අපේක්ෂා කරනවා. ඒ අනුව අද දිනයේදී විශේෂයෙන් දිවයිනේ උතුර, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කරනවා. ඒ වගේම ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බස්නාහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක් පමණ වන තද සුළං ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අපි ජනතාවට මතක් කර සිටිනවා."