අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සැකකරුවෙකුට පහරදුන්නේ යැයි එල්ල වන චෝදනාවට අදාළව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා.
ඒ, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මතයි. අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් පොලිස් අධිකාරීවරයා යටතේ විමර්ශන සිදු කෙරුණා.
ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමේ සිටි අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනියුක්ත සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙක් එලෙස ස්ථාන මාරු කර තිබෙනවා.
එම සිද්ධියට අදාළව පොලිස් කණ්ඩායම භාරව ගිය උප පොලිස් පරීක්ෂකවරයා මීට පෙර ස්ථාන මාරු කෙරුණා.
සිය පියාට පොලිස් නිලධාරීන් පහරදුන් බවට චෝදනා කරමින් තරුණයෙකු පසුගියදා එම පොලිස් ස්ථානයට ගොස් නිලධාරීන්ට විරෝධය පළ කර තිබුණා.
ඊට අදාළ වීඩියෝවක් ද පසුගියදා සමාජ මාධ්‍යයේ සංසරණ වුණා.
ඒ, පිළිබද විශේෂ අවධානයක් යොමුකළ පොලිස්පතිවරයා අදාළ නිලධාරීන්ට නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසයි.




