නිකවැරටිය රෝහලේ පොලිස් ආරක්‍ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද දිනයේ නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කරන බවයි කොබෙයිගනේ පොලීසිය පැවසුවේ.

බැද්දේගම ප්‍රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්ලා ගස් බැද පසුව පොලිස් නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව පොලිස් භාරයේ පසුවූ එම පුද්ගලයා රෝගී තත්ත්වයක් හේතුවෙන් නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජිවිතක්‍ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු කොබෙයිගනේ පොලීසිය එම පුද්ගලයාට පහර දුන් බව කියන සැකකරුවන් සිව් දෙනෙකු පළමු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුද වන බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් සිව් දෙනා නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 2 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පැවසුවේ.