දිවයිනට රැගෙන ආ කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත් නොහොත් කුඩු ලලිත් නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.
ඒ, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්.
අද අළුයම බස් ලලිත් නමැත්තා දිවයිනට රැගෙන එනු ලැබුවේ ඩුබායිහි සිටයි.
ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
ඔහු කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රකාශ සටහන් කර ගනු ලැබූ බවයි නෙත් නිවුස් නියෝජිත ටී කේ ජී කපිල පැවසුවේ.
ඉන් අනතුරුව බස් ලලිත් නමැත්තා වැඩිදුර විමර්ශන සදහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන යනු ලැබුවා.
ඒ, දැඩි ආරක්ෂාවක් මධ්‍යයේයි.
කළුතර දකුණ, දූව පන්සල පාරේ පදිංචි බස් ලලිත් නමැත්තා 36 හැවිරිදි වියේ පසු වනවා.
හංවැල්ල , අවිස්සාවේල්ල , කටුකුරුන්ද , පාදුක්ක , මීගොඩ සහ කල්තොට යන පොලිස් වසම් තුළ මනුෂ්‍ය ඝාතන මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිට ඇති බවයි පොලීසිය පැවසුවේ.
එමෙන්ම සී ෆෝ වර්ගයේ ප්‍රබල පුපුරන ද්‍රව්‍ය තොගයක් ද සන්තකයෙහි තබා ගෙන සිටීම පිළිබදවද ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.
ඔහු ඩුබායිහිදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඊට සතුට පළ කරමින් හංවැල්ල සහ අවට ප්‍රදේශවල ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට ප්‍රකාශ කර තිබුණා.
එමෙන්ම ඔහු දිවයිනට අද රැගෙන ඒමෙන් අනතුරුව ද පොලිසියට ස්තුතිය පළ කරමින් හංවැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව බැනර් ප්‍රදර්ශනය කර ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයන් පැවසුවේ.




