බස් සහ පාසල් වෑන් රථ ගාස්තු ඉහළ නොදැමේඉන්ධන මිල ඉහළ යාම තමන්ට දරා ගත නොහැකි බව ජනතාව පවසනවා.
ඒ අනුව සහනාධාරයක් ලබා දෙන ලෙසයි ඇතමුන් රජයෙන් ඉල්ලා සිටියේ.
"මේ බස් කර්මාන්තය මේ විදිහට අපිට කරගන්න අමාරුයි ඉන්ධන මිල වැඩි වුණාම. අපිට මොකක් හරි සහනයක් වෙන විදිහට වැඩක් කරලා දෙන්න කියලා තමයි අපි ජනාධිපතිතුමාගෙන් කියන්නේ. දරන්න බෑ. අපිට බස් එකට ඩීසල් ගැහැව්වාම අපිට පඩියක් ගන්නවත් බෑ. ඒ පොඩ්ඩක් සංවේදීව හිතලා අපිට මොකක් හරි දෙයක් සහන මිලකට යමක් කරලා දෙනවා නම් ගොඩාක් වටිනවා."
"මේකයි, දැන් යුද්ධෙත් තියෙනවනේ නේද? ඒක හින්දා මම නම් මේ වෙලාවේ කොහොමත් මේගොල්ලන්ගේ ඒ වැඩිවීම ගැන එච්චර තකන්නේ නෑ. මොනවා හරි දෙයක් දැන් දැනෙන්න කරනවනේ. මිල වැඩි වුණාට ඉතින් පොඩ්ඩක් කමක් නෑ."
"තෙල් මිල වැඩිවෙනවා කියන්නේ හැම දෙයක්ම ගණන් යනවා නේද? ඉතින් අපිට හරි අමාරුයි ජීවත් වෙන්න ඉතින් තෙල් මිල ඉහළ ගියාම. දැන් මේ දරාගන්න බැරි ආර්ථිකයනේ තියෙන්නේ. ඉතින් බස් ගාස්තුත් අනිවාර්යයෙන්ම ඉතින් ගණන් වැඩි කරයි නේද? නැතුව ඉතින් අපිටත් මේක කරගන්න බෑනේ."
"ජනතාවට ඉතින් දරාගන්න අමාරුයි. මිල වැඩිවීම වෙන වෙන ඉතින් තෙල් මිල වැඩිවුණා කියන්නේ බඩු මිලත් වැඩිවෙනවනේ ඉතින්. හැමදේකින්ම ජනතාවට ඒක දරාගන්න අමාරුයි."
"රජයේ පැත්තෙන් බැලුවත් ඉතින් ඒක සාධාරණයකුත් තියෙනවා. පිටරට තියෙන විදේශීය යුද්ධෙත් එක්ක බැලුවාම ඉතින් එහෙත් තෙල් වැඩිවෙනවා. ඒ නිසා ඉතින් ආණ්ඩුවට දොස් කියලා වැඩක් නෑ ඉතින් ඒ තත්ත්වය බැලුවාම. ඉතින් ඒවත් අපි දරාගෙන ඉදිරියට යන්න තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ."
කෙසේවෙතත් ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙවරද බස් ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ බස් ගාස්තු පිළිබද ජාතික ප්‍රතිපත්තියට අනුව මෙවරද ගාස්තු ඉහළ දැමිමට හැකියාවක් නොමැති බවයි.
"දෛනිකව ලැබෙන ආදායම යම් ආකාරයකින් බලපෑමක් සිද්ධ වෙනවා. මොකද ගිය පාරත් රුපියල් 10,000ක් විතර මේ වන විට 15,000ක් වෙනවා. සාමාන්‍ය කිලෝමීටර් සේවාවලට රුපියල් 10,000කුත්, දුර සේවාවලට රුපියල් 2,000, 2,500කුත් දෛනිකව පාඩුව සිද්ධ වෙනවා. නමුත් අපි වෙනත් මූලාශ්‍ර යනවා ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා. යම් තීරණයකුත් තියෙනවා දැන් අවුරුදු 20ක් 25ක් වගේ පුරාවටම ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය රාමුව තුළ අපිට බස් ගාස්තු වැඩි කරන්න හැකියාවක් නෑ. නමුත් අපිට අනිත් තීරණයට යොමු වෙලා තියෙනවා කෙසේ වෙතත් ඒ පාඩුව අපිට දරාගෙන ඉදිරියට ධාවනය කරන්න සිද්ධ වෙනවා. මොකද මෙහෙම වන විට මේ කර්මාන්තයත් බරපතල අර්බුදයක තියෙන තත්ත්වයක් තියෙනවා. කෙසේ වෙතත් මොකද සියයට 4%කින් එන්න ඕනේ බස් ගාස්තු යම් ආකාරයකින් සංශෝධනය ලක් කරන්න."
කෙසේවෙතත් ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දැමිය යුතු බව එම ප්‍රවාහන සංගම් පවසනවා.
බලධාරීන් ඒ සදහා අවසර ලබා නොදුනහොත් තමන් ගාස්තු ඉහළ දමන බවයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ලේකම් එල්.රෝහණ පෙරේරා මහතා පැවසුවේ.
"ඉතින් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ඉන්ධන මිල මේ විදියට සංශෝධනය වීම තුළින් ත්‍රිරෝද රථ ගාස්තුව වැඩි විය යුතුයි. අපි පරිභෝජනය කරන හැම දෙයක් වෙනුවෙන්ම මේ අපි දැන් මේ වෙනකොට පළවෙනි කිලෝමීටරයට රුපියල් 110කුත්, දෙවෙනි කිලෝමීටරයේ රුපියල් 90කුත් වශයෙන් තමයි අපි අය කරන්නේ. ඒකට පරිබා ඒ බාහිරව අපිට අය කරන්න විදිහක් නෑ. නමුත් මෙතනදී බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් මීටර් සවි කරලා තියෙන මීටර් භාවිතාවෙන් අපේ පරිභෝගිකයන්ගෙන් අය කරගන්න රියදුරන් වෙනුවෙන් තමයි ඒ මිල හදලා තියෙන්නේ. නමුත් දැන් ඒ අයට නීතියක් නෑ මිල සංශෝධනය කරලා අපිට ඉදිරිපත් කරන්න. පහුගිය කාලෙදි අපි ඒ කතා කරායින් පස්සේ බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය බෝලය පාස් කරා NTC එකට, ජාතික ගමනාගමන කොමිෂන් සභාවට. නමුත් කොමිෂන් සභාවේ මේ වෙනකොට අදාළ නියාමන කටයුත්ත වෙනුවෙන් ඒ අදාළ නීතිය සැකසෙමින් තියෙනවා ඒ වාර්තාවට අනුව නීතිපතිතුමා ළඟ තවම ඒකට ඒක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් නෑ. එතකොට දැන් අපි මොකක්ද කරන්නේ? එතකොට ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් මේකට මැදිහත් වෙලා යම්කිසි සහනයක් ත්‍රිරෝද රථ රියදුරන්ට ලබා නොදුන්නොත් අපි අපිට වෙනවා අනිවාර්යයෙන්ම මේ මීටර් වල ගණන් යම්කිසි ආකාරයකින් වෙනස් කරගන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ 110 කියන පළවෙනි කිලෝමීටරය රුපියල් රුපියල් 120ක්වත් මේ වෙලාවේ විය යුතුයි. ඒ වගේම තමයි රුපියල් 90ක් අය කරන ගාස්තුව රුපියල් 100ක් විය යුතුයි කියන එක අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැතුව මේක මේක කරගෙන යන්න බෑ."
කෙසේවෙතත් ඉන්ධන මිල ඉහළ ගියද මෙම අවස්ථාවේ පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසුවා.
"ඩීසල් මිල රුපියල් පහකින් අඩු වෙලා තියෙනවා. නමුත් අපි ගාස්තු වැඩි කිරීමක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද දෙමව්පියන්ටත් ලොකු බරක් තියෙන්නේ මේ දවස්වල තියෙන මිලත් එක්ක. ඒ හින්දා අපි වැඩි කිරීමට බලාපොරොත්තුවක් වෙන්නේ නෑ. පාඩුවක් තියෙනවා, ඉතින් කරන්න දෙයක් නෑ. පාඩුවත් අපි විසින්ම දරාගෙනම ඉතින් මේක අපේ රැකියාව කරගෙන යනවා. ඉතින් මොකද වෙන කරන්න දෙයක් නෑ ඇත්තටම. ඇත්තටම මේ වෙලාවේ රජය ඇත්තටම ඩීසල් මිල අඩු කිරීමක් කරන්න බලනවා නම් ගොඩක් හොඳයි."
ඉන්ධන මිල ඉහළ දැමුණේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.
ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමූ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
එහි නව මිල රුපියල් 490ක් වනවා.
එමෙන්ම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 424ක්.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ද ඉහළ දැමූ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 397ක් වනවා.
එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 543ක්.
කෙසේවෙතත් භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු නොකළ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සමඟ සමාන කිරීම සඳහා ලංකා අයි.ඕ.සී. සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව, මෙතෙක් පවත්වාගෙන ගිය මිල සංශෝධනය කරමින් සිපෙට්කෝ මිල ගණන්වලට සමානව මෙම ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීමට පියවර ගත් බව ලංකා අයි.ඕ.සී. සමාගම පැවසුවා.
කෙසේ වෙතත්, සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය කිරීම ඉදිරියේදී දැනුම් දෙන බවයි එම සමාගම පැවසුවේ.




