ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා පැවැත්වීම අවිනිෂ්චිත තත්ත්වයක පැවතීම හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 6.5කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 96.25ක් ලෙස සටහන් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක නව මිල අමෙරිකානු ඩොලර් 90.15ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඉරාන ධජය සහිත නෞකාව ඇමෙරිකානු නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීම සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට ඉරානය ගත් තීරණය මෙම මිල ඉහළ යාමට තවත් හේතුවක් වනවා.

ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන මෙම උපායමාර්ගික මුහුදු මාර්ගය අවහිර වීම, සැපයුම් දාමයට දැඩි තර්ජනයක් එල්ල කරනු ලබන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.