භූතානයේ පැවැත්වෙන සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS) සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය භූතානයේ පාරෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.
එහිදී භූතාන අග්‍රාමාත්‍යවරයා, භූතානයේ විදේශ කටයුතු සහ විදේශ වෙළෙඳ අමාත්‍යවරයා, අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා, බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ භූතාන තානාපතිවරයා මෙන්ම භූතාන රජයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අග්‍රාමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගනු ලැබු බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ.
සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුව (Global Conscious Food Systems Summit - GCFSS) සැප්තැම්බර් 04 දක්වා භූතානයේදී පැවැත්න අතර ඒ හරහා තිරසාරබව, අවබෝධය හා පුනර්ජනනීය ආහාර පද්ධති ප්‍රවර්ධනය කිරීම, සාරධර්ම, සංස්කෘතිය, අධ්‍යාත්මිකත්වය සහ අභ්‍යන්තර පරිවර්තනය පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතයි.
“ආහාර පද්ධති පරිවර්තනය සක්‍රීය කිරීම” (Activating the Heart of Food Systems Transformation) යන තේමාව යටතේ භූතාන රජය, සවිඥානික ආහාර පද්ධති සන්ධානය (CoFSA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව මෙම සමුළුව සංවිධානය කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරිය අද ඩුන්කාර් ඩිසොංහිදී (Dungkar Dzong) පැවැත්වෙන සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවේ(Global Conscious Food Systems Summit - GCFSS) සමාරම්භක පූර්ණ සැසිය සඳහා සහභාගී වීමට නියමිතයි.
“අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” (Rising to the Moment: Igniting Consciousness to Address the Polycrisis) යන තේමාව යටතේ ප්‍රධාන දේශනයක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සිදුකිරීමටද නියමිතව තිබෙනවා.
මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය භූතාන අග්‍රාමාත්‍යවරයා මෙන්ම අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත් එමෙන්ම සමුළුවට සහභාගී වන එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම්වරයා ඇතුළු විදේශීය ඉහළ පෙළ නිලධාරීන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමටත් සැළසුම්කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩ්දුරටත් පැවසුවේ.









