කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ජූලි මස 23 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණා.
එහෙත් විනිසුරු බුද්ධික සී රාගල මහතා අද දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් මෙම නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරිපිටයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සදහා ජූලි මස 23 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරු බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 39 ක් පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පොදු දේපල පනත යටතේ මෙම නඩුව විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබෙනවා.



