මැගසින් බන්ධනාගාරයේ රැදවියෙකු මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කළ නිලධාරීන් පස් දෙනා කළුතර බන්ධනාගාරයේ රදවා තිබෙනවා.
එම සිද්ධියට අදාළව ජේලර්වරයෙකු සහ නියාමකවරුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ බොරැල්ල පොලීසිය මගින්. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 7 වනදා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මැගසින් බන්ධනාගාරයේදී මියගිය රැදවියාගේ සොහොයුරෙකු සහ තවත් ඥාතින් කිහිප දෙනෙකු විවිධ චෝදනා යටතේ එම බන්ධනාගාරයේම රදවා සිටිනවා.
ඒ අනුව රක්‍ෂිත බන්ධනාගාර ගත කළ සැකකාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව පිළිබද සැලකිල්ලට ගනිමින් එම නිලධාරීන් කළුතර බන්ධනාගාරයේ රැදවු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
මැගසින් බන්ධනාගාර පරිශ්‍රයේදි නිලධාරියෙකු සහ රැදවියන් දෙදෙනෙකු අතර පසුගියදා ඇති වූ පොර බැදීමකින් ඔවුන් තිදෙනා තුවාල ලබා පළමුව වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා.
එහිදි එක් රැදවියෙකු ජීවිතක්‍ෂයට පත් වුණා.
තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරියා පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
ඔහුද මේ වනවිට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
තුවාල ලබා වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ සෙසු රැදවියාද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ, වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයක් සදහා යොමු කිරීමටයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙන වෙනම විමර්ශන ආරම්භ කළා.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
ඒ, බොරැල්ල පොලීසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින්.
මැගසින් බන්ධනාගාරයේ රැදවියා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විමර්ශන සිදුකරනු ලබන්නේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන්. ]
එම සිද්ධියට අදාළව මේ වනවිට නිලධාරීන් හත් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය බවයි පොලීසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර එම රැදවියා මියයාමත් සමග මැගසින් බන්ධනාගාරයේ ආරක්‍ෂාව තර කිරීමට ද එම දෙපාර්තමේන්තුව පසුගියදා පියවර ගත්තා.




