මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් 73 දෙනෙකු පල්ලෙකැලේ සහ වාරියපොළ බන්ධනගාර වෙත මාරුකර යවා තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසුවේ, එම කාන්තා රැඳවියන්ගෙන් 33 දෙනෙකු වාරියපොළ බන්ධනාගාරයටත් තවත් රැදවියන් 40 දෙනෙකු පල්ලෙකැලේ බන්ධනාගාරයටත් එලෙස මාරු කර යැවූ බවයි.
ඒ අතරට විදෙස් ජාතික කාන්තාවන් 28 දෙනෙකුද අයත්.
එම බන්ධනාගාරයේ රදවා සිටි පිරිමි රැදවියන් පිරිසක්ද පසුගියදා වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරුණා.
පසුගිය 5 වනදා සහ 6 වනදා මීගමුව බන්ධනගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ කණ්ඩායම් 02ක් අතර ඇති වූ ගැටුමෙන් එම බන්ධනාගාරයට සිදු වූ හානි හේතුවෙන් අදාළ කාන්තා රැදවියන් එලෙස මාරු කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
මේ අතර මීගමුව බන්ධනගාරයේ ඇති වූ සිද්ධියෙන් අනතුරුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
ඒ, 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ බලතල අනුවයි.
සියලුම බන්ධනාගාර වෙත මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට බාධාවකින් තොරව ඇතුළු වීමට ඉඩකඩ ලබා දෙන ලෙසත්, රැඳවියන් ආරක්ෂා කරන ලෙසත් එම උපදෙස් මාලාවේ සඳහන්.
එමෙන්ම, සිදුවීම්වලට අදාළ සියලුම සාක්ෂි සුරක්ෂිත කිරීමටත්, එල්ල වී ඇති චෝදනා පිළිබඳව කඩිනම් සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් මානව හිමිකම් කොමිසම එම උපදෙස් මාලාවෙන් දැනුම් දී ඇතැයි වාර්තා වුණා.
එමෙන්ම අදාළ පරීක්ෂණ කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබා දීම අනිවාර්ය බවත්, රැඳවියන් හට යම් අසාධාරණයක් සිදු නොවීමට වග බලා ගන්නා ලෙස මානව හිමිකම් කොමිසම අවධාරණය කර තිබෙනවා.



