මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පත් කළ කමිටුව මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව රැදවියන්ගෙන් මෙන්ම එම ගැටුම සිදුවන අවස්ථාවේ රාජකාරියේ යෙදි සිටි නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටද නියමිත බවයි වාර්තා වුණේ.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තේ ඊයේ පස්වරු 1.00ට පමණයි.
එහිදී තුවාල ලැබු රැදවියන් 34 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කෙරුණා.
ඉන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත් වූ අතර තවත් රැදවියන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
මීගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ රැදවියන් තිදෙනෙකු ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව පල්ලන්සේන කදවුරේ රැදවු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
පැවති කලහකාරී තත්ත්වය අද අළුයම සමථයකට පත් කර තිබෙනවා.
කෙසේවෙතත් බන්ධනාගාරය තුළ මෙන්ම පිටත ආරක්‍ෂාව තවදුරටත් තර කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.




