අයවැය දෙවන වර කියවීමේ විවාදය 6 වන දිනටත් පාර්ලිමේන්තුවේදී අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම විවාදයේ 5 වන දිනය වූ ඊයේ දිනයේ රාජ්‍ය සේවය සදහා අලුතින් බදවා ගන්නා පිරිස ගැන අදහස් පළ වුණා.

ඒ අනුව මේ වසරේදී රාජ්‍ය සේවය සදහා අලුතින් එක්ලක්ෂ 57,000ක් බදවා ගන්නා බවයි අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ.
"රාජ්‍ය සේවයට අපි එක් ලක්ෂ විසි දහසක් මේ වෙනකොට බඳවා ගැනීම් කටයුතු කරමින් ඉන්නවා. තව තිස් හත් දහසක් වෙනුවෙන් අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ අනුව එක් ලක්ෂ පනස් හත් දහසක් මේ වසර තුළ අපි මේ රාජ්‍ය සේවයට ගේන්න සැලසුම් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පොලිස් සේවාවට දස දහසක් බඳවා ගන්න කටයුතු කරමින් ඉන්නවා. ලබන පෙබරවාරි වෙනකොට මේ දස දහස පොලිස් සේවාවට ඇතුළත් කරනවා. දැනට හාර දහසක් පුහුණුවීම් කටයුතු අවසන් කරමින් තියෙනවා. අපි පළාත් සියල්ලේම සම්මුඛ පරීක්ෂණ පවත්වලා, ඉදිරි ගැසට් නිවේදනය ලබන මාසයේ නිකුත් වෙනවා. පොලිස් සේවයේ පොලිස් කොස්තාපල්ගේ ඉඳලා, පොලිස් උප පරීක්ෂකවරයා, ඒ වගේම අපි පළවෙනි වතාවට සහකාර පොලිස් අධිකාරීවරු දහ නවයක් පොලිස් සේවයට එකතු කරන්න ඉදිරියේදී ගැසට් නිවේදන පළ කරනවා. පළාත් අනුව සම්මුඛ පරීක්ෂණ පවත්වලා දස දහසක පිරිස ලබන අප්‍රේල්, මැයි වෙනකොට සම්පූර්ණ කරන්න සැලසුම් කරනවා."

මෙම සියළු බදවාගැනීම් සදහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොමැති බවයි අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ.
"ඒ දස දහස බඳවා ගැනීමෙන් පසුව අපි අදහස් කරනවා නැවතත් තවත් දස දහසක් පොලිස් සේවයට එකතු කරන්න. මොකද පොලිස් සේවයේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල ඒ පුරප්පාඩු සම්පූර්ණ කරන්න තමා එක් ලක්ෂ පනස් හත් දහසක් රාජ්‍ය සේවයට බඳවා ගන්න අවශ්‍ය පියවර අරන් තියෙන්නේ. ඒ හැම බඳවා ගැනීමකම, මේකේ තියෙන සුවිශේෂත්වය තමා ඒ කිසිදු දේශපාලන මැදිහත්වීමක්, බලපෑමක් නැතුව රාජ්‍ය සේවයට සුදුස්සාට සුදුසු තැන ලැබෙන ආකාරයට මේ රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා තියෙනවා."