වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,805 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඩෙංගු රෝගය වැළඳීමෙන් මේ වන විට පුද්ගලයින් 72 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.

අගෝස්තු මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 9,469 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ජූලි මාසයේදී 29,962ක් සහ ජූනි මාසයේදී රෝගීන් 21,533ක් ලෙස වාර්තා වී තිබෙනවා.

සමස්ත රෝගීන්ගෙන් සියයට 52.92ක් එනම් රෝගීන් 50,167ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.

ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,823ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,624ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 20,207ක්.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 18,794ක්, මහනුවරින් 6,913ක්, කළුතරින් 6,117ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 6,111ක් වාර්තා වනවා.

මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 76ක් අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.