පුරා තිස් වසරක් මුළුල්ලේ මෙරට පැවති එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට වසර 17ක්.
2009 වසරේ මැයි මස 18 වැනි දින පුදුකුඩිරිප්පු, නන්දිකඩාල් කලපුව ආසන්න ප්‍රදේශයේදී එල් ටී ටී ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වීමත් සමඟින් දශක තුනකට අධික කාලයක් උතුරු, නැගෙනහිර ප්‍රදේශවල මෙරට ත්‍රස්තවාදයෙන් ඇවිලුණු එල් ටී ටී ඊ සංවිධානයේ මෙන්ම යුද්ධයද නිමාවට පත් වුණා.
ඒ, දරුණුතම යුද ගැටුම් පැවැති අවසන් දින කිහිපයේදී සිවිල් ජනතාව ද ආරක්ෂා වන ලෙස ලොවක් මවිත කළ මානුෂීය මෙහෙයුමක් දියත් කරමින්. පොලීසිය සහ සිවිල් ආරක්ෂක භටයින් ද එවක රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොනිමි මෙහෙවරක් ඉටු කළා.
මේ අතර මෙම විජයග්‍රහණයට උර දුන් වීරෝධාර රණවිරුවන් සිහිපත් කෙරෙන 17 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට (19) දිනයේ පැවැත්වෙන බව රණවිරු සේවා අධිකාරිය පවසනවා.
එහි සභාපති විශ්‍රාමික බි්‍රගේඩියර් එස් බී කොහොන මහතා පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන බවයි.
2,769 දෙනෙකු හෙට දිනයේ පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවයට සහභාගිවන බව එම අධිකාරියේ අධ්‍යක්‍ෂ එල් එම් සී බී නිශ්ශංක මහතා පැවසුවා.
මේ අතර යුද බිමේදී දිවිපිදූ, රණක්‍ෂිතයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් මෙම වසරේදී රුපියල් මිලියන 569 ක මුදලක් වෙන් කර ඇති බවයි රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඒ ජී භාග්‍ය මහතා පැවසුවේ.




