රුපියල් තුන් කෝටි හැට හය ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ව්‍යාපාරික කාන්තාවකගේ ස්වර්ණාභරණ තොගය රාජසන්තක කර ඇයට රුපියල් ලක්ෂ 25 ක දඩයක් නියම කර තිබෙනවා.

ඩුබායි සිට පැමිණි UL-226 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ​ඊයේ (28) උදෑසන පැමිණි අංගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අදාළ කාන්තාව, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

​ඇය විසින් පිටෙහි එල්ලාගෙන ගිය ගමන් මල්ලක් තුළ පාර්සල් 12 ක සඟවා තිබූ ග්‍රෑම් 916 ක් බරැති වළලු සහ මාල තොගයක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

​පසුව වැඩිදුර විමර්ශන සඳහා අදාළ කාන්තාව සහ ස්වර්ණාභරණ තොගය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගත් අතර, අද (29) අලුයම සිදුකළ තක්සේරුවට අනුව එම ස්වර්ණාභරණවල වටිනාකම රුපියල් තුන් කෝටි හැට හය ලක්ෂ විසි අටදහස් නවසිය තිස් හතයි ශත විසි හතක් බවට අනාවරණය වී තිබෙනවා.

​ඒ අනුව අදාළ ස්වර්ණාභරණ තොගය රාජසන්තක කිරීමට නියෝග කළ රේගු නිලධාරීන්, එම කාන්තාවට රුපියල් ලක්ෂ 25 ක දඩ මුදලක් ද නියම කළා.