රක්ෂිත බන්ධනාගාරගත කළ බලංගොඩ කස්සප හිමි ඇතුළු හත් දෙනා තවදුරටත් අනුරාධපුර ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
ඒ, බන්ධනාගාර හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේයි.
අනුරාධපුර පොලීසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හත් දෙනා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා විසින් රෝහලට පැමිණ සැකකරුවන් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
රුවන්වැලි මහාසෑය අසල ඊයේ දහවල් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, තවත් භික්ෂූන් වහන්සේ තුන් නමක්, පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ එක් කාන්තාවක් අත්අඩංගුවට ගැණුනා.
ගැටුමේදී ඇති වූ තුවාල හේතුවෙන් ඔවුන් ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණා.
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 7 දෙනාම මානසික වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කරන ලෙසද අනුරාධපුර මහේස්ත්‍රාවරයා මෙහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
ඊට අමතරව ඔවුන් සියලු දෙනාම මත්ද්‍රව්‍ය පරීක්ෂාවකටද යොමු කරන ලෙසයි නියෝග කර ඇත්තේ.
ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ තුන් නමක් රුවන්වැලි මහා සෑය අභියස මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ පෙරේදා උදෑසනයි.
බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමල මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුවක් නිකුත් කළේද ඒ අතරතුරයි.
කෙසේවෙතත් තමන් එම අධිකරණ නියෝගය පිළිනොගන්නා බවත් බුද්ධ පුත්‍රයෙකුට එවැනි නියෝගයක් නිකුත් කිරීමේ හැකියාවක් මහේස්ත්‍රාත්වරයෙකුට නොමැති බවත් බලංගොඩ කස්සප හිමියන් උපවාසය අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධියට අදාළව දිගින් දිගටම අධිකරණය මගහැරීමේ සිද්ධියට අදාළවයි මෙම වරෙන්තුව නිකුත් කෙරුණේ.
කෙසේවෙතත් රාජාංගණයේ සද්ධාරතන හිමියන් ඊයේ දහවල් උපවාස භූමිය අසලට පැමිණීමත් සමග එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා.
සද්ධාරතන හිමියන් සමග පැමිණි පිරිස් සහ බලංගොඩ කස්සප හිමියන්ගේ පාර්ශවය අතර ඇති වූ මෙම නොසන්සුන්තාව ගැටුමක් දක්වා වර්ධනය වූයේ ඉන් අනතුරුවයි.
ගැටුමේදී රාජාංගණයේ සද්ධාරතන හිමියන් ඇතුළු දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන්ද ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහට ඇතුළත් කෙරුණා.




