මැදවච්චිය, රබෑව, වැලිඔය හංදිය ප්‍රදේශයේ පසුගියදා සිදුවූ බස් රථ අනතුරට අදාළ එක් බස් රථයක රියදුරෙකු අනතුර සිදුවන විට මත්පැන් සහ ගංජා පානය කර ඇතැයි හෙළිව තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේදි මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළා.

"ගරු කථානායකතුමනි, අපි ආර්ථික අර්බුදයකින් ගොඩ එන රටක් නිසා, ගොඩ එමින් තිබෙන රටක් නිසා හැම කෙනාටම යම් යම් ගැටලු තියෙනවා කියන එක ගැන විවාදයක් නෑ. නමුත් මේ ඊයේ හවස මෙතන ගරු ජනාධිපතිතුමා පොදු අයවැයක් ඉදිරිපත් කරන අතරේ මම හිතන්නේ ප්‍රවාහනය වෙනුවෙන් කරන්න තියෙන මම හිතන්නේ උපරිම දායකත්වය හැම පැත්තටම කළා. එතකොට ප්‍රවාහනය දියුණු කරනකොට, පාර හැදෙනකොට, පිළිවෙළ වෙනකොට, ඩිජිටලයිසේෂන් (Digitalization) එනකොට ඒකෙන් බස් හිමියන්ට විශාල සහනයක් එනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි, කාටවත් ගරු කථානායකතුමනි, අමුතු ඒකාධිකාරයක් එන්නේ නෑ. දැන් ලංගම විතරයි තිබුණේ. ලංගම හිතන් හිටියා තමන් ඕන විදියට ගියාම මිනිස්සු බස් එකට නගී කියලා, ඒක වුණේ නෑ. ඊට පස්සේ ප්‍රයිවට් බස් ආවා. දැන් ප්‍රයිවට් බස් හිතුවොත් තමන් ඕන විදියට එහෙමෙහෙ යනවා විදියට ගියාම මිනිස්සු බස් වලට නගී කියලා, ආණ්ඩුව බස් එක කරේ තියාගෙන ගියත් මිනිස්සු බස් එකට නගින්නේ නෑ.මම ඔබතුමාගේ අවසරය ඇතුව එක විනාඩියකින් කියන්නම්, දැන් ළඟදි මැදවච්චිය ඇක්සිඩන්ට් (Accident) එක වුණා. දැන් මැදවච්චිය ඇක්සිඩන්ට් එකේ 70ක් ඉන්ජර්ඩ් (Injured) වුණා, හතර දෙනෙක් නැති වුණා. දැන් අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා කැබිතිගොල්ලෑව බස් එකේ ඩ්‍රයිවර් මහත්මයා ගංජා සහ මත්පැන් වලට පොසිටිව් (Positive) කියලා."

ලංගම බස් රථ දෙකක් හා පෞද්ගලික බස් රථයක් ගැටි පසුගිය 10 වනදා සිදුවූ එම අනතුරෙන් තවත් පුද්ගලයන් 76 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.