බුලත්සිංහල, ඈගල්ඔය පාර ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවි සැලක ඉහල මාලයේ තිබී අඹුසැමි යුවළකගේ මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.
ඒ පොලිසියට ලද තොරතුරක්මත සිදුකල විමර්ශනයකදීයි.
දින තුනක පමන සිට ඔවුන් පදිංචිව සිටි නිවසේ විදුලි පහන් දල්වා දොර වසා තිබු බැවින් අවට පිරිස් ඒ පිලිබඳ බුලත්සිංහල පොලිසියට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව පොලිසිය පැමිණ සිදුකල සෝදිසියකදී මළසිරුරු දෙක සොයා ගැනුනා.
මියගොස් සිටි අඹුසැමි යුවල 2018 වර්ෂයේ සිට ඈගල්ඔය නගරයේ වෙළද සැලක ඉහල මහලේ කුලි පදනම මත පදිංචිව සිට තිබෙනවා.
පිරිමි පුද්ගලයාගේ වයස අවුරුදු 62 ක් වන අතර කාන්තාවගේ වයස අවුරුදු 55 ක්.
කලක සිටම මොවුන් දෙදෙනා අතර ආරවුල් සිදුව ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
දෙදෙනාගේම මළ සිරුරු එකම ස්ථානයක බිම වැටි තිබී ඇති අතර බිරිදගේ සිරුරෙන් ලේ වහනය වි ඇති බවද පොලිසිය පවසනවා.
පුරුෂයා විසින් බිරිද ඝාතනය කර පසූව කිසියම් වස වර්ගයක් පානය කර සියදිවි නසා ගන්නට ඇති බවටයි සැක කරන්නේ.
මියගොස් ඇති පිරිමි පුද්ගලයා අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඔහු මීට පෙර විවාහ වී සිට ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඔහුට පළමු විවාහයෙන් දරුවන් තිදෙනකු සිටින අතර බිරිඳ වසර කිහිපයකට පෙර හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව සිදුකළ විමර්ශනවලදි අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.
ඉන්පසු ඔහු මෙම කාන්තාව සමග අඹු සැමියන් ලෙස ජීවත්ව තිබෙනවා.
ඔහු අගලවත්ත ප්‍රදේශයේ වැවිලි සමාගමක දීර්ඝ කාලයක් සේවය කිරීමෙන් අනතුරුව විශ්‍රාම ගොස් ඇති අතර එයින් ඔහුට අර්ථසාධක අරමුදල ලෙස රුපියල් ලක්ෂ 19කට ආසන්න මුදලක් ලැබී තිබෙනවා.
ඉන් මාස කිහිපයකට පසු රිය අනතුරකට භාජනය වීමෙන් ඔහුට රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් වන්දි මුදලක්ද ලැබී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
එම මුදල් සියල්ල එකතුකර ඈගල්ඔය නගරයේ ඉංගිරිය මාර්ගයේ මෙම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ නවාතැන් ගැනීමටත් පහළ මාලය රෙදිපිළි අලෙවි සැලක් ආරම්භ කිරීමටත් මෙම පුද්ගලයා හා කාන්තාව කටයුතු කර තිබෙනවා.
මිය යන විටත් ඔහු හොරණ රෝහලේ ආරක්ෂක සේවයේ රැකියාවක නිරතව සිටි බවයි ඥාතීන් පවසන්නේ.
මිට සතියකට පමණ ඉහතදී සහෝදරයෙකුගේ නිවසෙයි පැවති දානමය කටයුත්තක් වෙනුවෙන්ද මොවුන් දෙදෙනාට ආරාධනා කර තිබුණද ඊටද සහභාගිවී ඇත්තේ පිරිමි පුද්ගලයා පමණයි.
බිරිඳ සමග අමනාපකම් පවතින බැවින් ඇය සහභාගී නොවූ බව ඔහු එහිදී ඥාතීන්ට පවසා තිබෙනවා.
මෙම පුද්ගලයා විසින් බිරිඳ ඝාතනය කිරීමෙන් අනතුරුව දින එකහාමාරකට ආසන්න කාලයක් සිරුර සිය කාමරයේ තබාගෙන සිට ඇති බවටයි පොලිසිය සැකකරන්නේ.
ඝාතනය කිරීමෙන් පසු මෙම පුද්ගලයා ප්‍රදේශයේ කලබලයෙන් ඇවිදයන ආකාරය ඒ අවට පිරිස් දැක ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඔහු ආසන්නයේ ඇති වෙළඳසැලකින් වස කුප්පියක් , බීම බෝතලයක් සහ මත්පැන් බෝතලයක් රැගෙන පැමිණ ඇති අතර වස,බීම සහ මත්පැන් මිශ්‍රකර පානය කර ඇති බවටයි විමර්ශන සිදුකරන පොලිසිය සැකකරන්නේ.
ඝාතනය වූ බිරිඳගේ හිස, පිට සහ බෙල්ල ආසන්නයේ කැපුම් තුවාල කිහිපයක් තිබූ බවත් සිරුර ආසන්නයේම උල් පිහියක්ද තිබී සොයාගත් බවත් පොලිසිය පැවසුවා.
පිරිමි පුද්ගලයාගේ සිරුර ආසන්නයේ තිබී නමක් සහිත ලිපියක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
එහි සේවා අංකයක් හා තම මරණ සහතිකය ලබා ගතයුතු ආකාරයටද සටහන් කර ඇති බවයි පොලිසිය පවසන්නේ .
ඔහු භාවිත කරන ලද දුරකථනය, බැංකු පොත්, ඇස් කන්නාඩි යුගලය, ඇතුළු ලියකියවිලි ඇතුළත් සියලු දෑ එකම ස්ථානයක තබා තිබියදී පොලිසියට හමුවී තිබෙනවා.
මතුගම වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කල අතර පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.




