ලැබෙන ඇමතුම් අනුව විවිධ ස්ථානවල ((location) මත්ද්‍රව්‍ය තොග තබා බෙදා හරින පුද්ගලයෙකු රුපියල් කෝටියකට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය විසින්.

එම සැකකරු සමඟ හොරොයින් ග්‍රෑම් 906 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 210 ක් හා ජාවාරමට යොදා ගත් ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාලයකට සෘජුවම සම්බන්ධ පුද්ගලයකු මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන බොරලැස්ගමුව, ඇඹිල්ලගහවත්ත ප්‍රදේශයෙන් පිටත්ව යන බවට බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය වෙත තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම පිලිබද තවත් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සජිත් අකලංක නොහොත් කොස් මල්ලි නමැත්තාගෙන් තමා වෙත ලැබෙන මත්ද්‍රව්‍ය තොග කොටස් වෙන්කර තොග වශයෙන් බෙදා හරින බවයි සැකකරු එහිදී පවසා ඇත්තේ.

ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් මාසිකව තමන් වෙත වැටුප් වශයෙන් ලැබෙන බවත් ඔහු පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම කුලී පදනම මත පදිංචිව සිටින 30 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.