ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ එම සමාගමේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවේදී මිල අඩු කිරීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බව වාර්තා වනවා.

ඊයේ පැවති එම සාකච්ඡාවේදී ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැදවා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

එම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණු බවද වාර්තා වුණා.

කෙසේ වෙතත් ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් එම සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

පසුගිය සති කිහිපය තුළ වෙළඳපොලේ ලාෆ්ස් ගෑස් නොමැති වීම හේතුවෙන් එම ගෑස් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට පත්ව සිටියා.

මීට දින කිහිපයකට පෙර එම ලාෆ්ස් ගෑස් මිල ගණන් විශාල වශයෙන් ඉහළ දැමීමටද ලාෆ්ස් සමාගම පියවර ගත්තා.

එලෙස මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමටයි අදාළ සමාගමේ නියෝජිතයින් ඊයේ දිනයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට කැඳවා තිබුණේ.