ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකා සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කරන බව නිවේදනය කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස පහත වැටී තිබෙනවා.
සටන් විරාමය පවතින කාලසීමාව තුළ මෙම මුහුදු තීරය විවෘතව තබන බවයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කළේ.
ඉරාන විදේශ අමාත්‍යවරයාගේ මෙම තීරණාත්මක ප්‍රකාශයත් සමඟ සිකුරාදා උදෑසන වන විට බැරලයක් ඩොලර් 98 ඉක්මවා තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල මේ වන විට ඩොලර් 88 දක්වා සීඝ්‍රයෙන් පහත බැස තිබෙනවා.
ලෝකයේ තෙල් සහ ස්වභාවික වායු සැපයුමෙන් පහෙන් එකක්ම ප්‍රවාහනය කෙරෙන්නේ මෙම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහායි.
පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු මෙම මුහුදු තීරය වසා දැමීමට ඉරානය කටයුතු කළා.
මෙලෙස සැපයුම් මාර්ග අවහිර වීම නිසා පසුගිය මාර්තු මාසය වන විට තෙල් මිල බැරලයකට ඩොලර් 119 ක් වැනි ඉහළ අගයක් දක්වා ඉහළ ගොස් තිබුණා.
මෙම සුබදායී පුවතත් සමඟ ලොව පුරා කොටස් වෙළඳපොළවල්වල විශාල ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ යාම නිසා ලොව පුරා ගුවන් ගමන් ගාස්තු සහ ප්‍රවාහන වියදම් ඉහළ ගොස් තිබුණා.
එසේම ලොව පොහොර රසායනික ද්‍රව්‍යවලින් තුනෙන් එකක් ප්‍රවාහනය කෙරෙන්නේද මෙම මාර්ගයෙන් බැවින් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමේ අවදානමක් ද මතු වී තිබුණා.
එබැවින් මෙම මුහුදු මාර්ගය විවෘත වීම සමස්ත ලෝක ආර්ථිකයටම මහත් සහනයක් වනු ඇති.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා මෙම තීරණය සාදරයෙන් පිළිගෙන තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ ඉරානය මින් ඉදිරියට හෝමුස් සමුද්‍ර සන්ධිය ලෝකයට එරෙහිව අවියක් ලෙස භාවිතා නොකරනු ඇති බවයි.
කෙසේ වෙතත්, ස්ථිර එකඟතාවයකට පැමිණෙන තෙක් ඉරානයට එරෙහි නාවික සම්බාධක තවදුරටත් ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.
කෙසේ වෙතත්, ඇතැම් නෞකා සමාගම් පවසන්නේ තවමත් එහි යාත්‍රා කිරීම අවදානම් සහගත බැවින් තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බවයි.
ඉරානයේ මෙම තීරණය ප්‍රකාශයට පත් වූයේ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ඇති වූ සටන් විරාම ගිවිසුමෙන් පසුව වීම විශේෂත්වයක්.




