දීර්ඝ කාලයක සිට දුම්රිය ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු පිළිබඳව බලධාරීන් ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව පැය 48ක වැඩ වර්ජනයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ පවතින ගැටළු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් සමග සාකච්ඡා කළද විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියා මාර්ගය ආරම්භ බවයි.

"අපි දීර්ඝ කාලයක් තිස්සේ දුම්රිය සේවයේ කඩා වැටීම පිළිබඳව දැනුම්දීම් කරලා තියෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා දුම්රිය දිනෙන් දින අගාධයට යමින් පවතිනවා. මේ පිළිබඳව දැනුවත් කිරීම් කරා, සාකච්ඡා ඉල්ලුවා. දැනට දින තුනකට කලින් අමාත්‍යාංශ ලේකම්වරයා එක්ක සාකච්ඡාවක් තිබුණා. එහිදී මේ අපි කියපු කරුණු එකහෙළා පිළිගත්තා. නමුත් ඔහුට බලයක් නෑ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම කියන එක කිව්වා. අපි දැනුම් දුන්නා අමාත්‍යවරයා සමඟ, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරලා මේක ඉටු කරන්න කියලා. ඊයේ මධ්‍යම රාත්‍රිය වන තෙක් අපි කාලය දුන්නා. නැති නිසා අපි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක් ආරම්භ කරලා තියෙනවා. අපේ අත්වැල් බැඳගෙන ඉන්න ශ්‍රේණිගත වෘත්තීය සමිති සියල්ල අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට දායකත්වය දෙනවා. ඒ නිසා අපි හිතනවා අපේ වැඩ වර්ජනය සාර්ථකයි. බොහෝ විට මේ අද දිනයේදී හෝ මේකට විසඳුමක් ලබා දෙයි කියනවා. මොකද මගීන් අපහසුතාවයට පත් කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. ජනතාවාදී රජයක අවශ්‍යතාවය මගියාට පහසුකම් සපයන්න නම් අපි කියන්නෙත් මගියාට අවශ්‍ය පහසුකම් සපයන්න කටයුතු කරන්න කියන එක. ඒ නිසා අපි හිතනවා අපේ මේ වැඩ වර්ජනය තුළදී මේකට විසඳුමක් ලබා දෙයි කියලා."

කෙසේවෙතත් වර්ජනය ක්‍රියාත්මක වුවද අද උදෑසන නියමිත පරිදි කාර්යාලය දුම්රියන් ධාවනයට එක් කළ බව දුම්රිය බලධාරීන් පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී දුම්රිය ගමනා ගමන අධිකාරි අසංක සමරසිංහ මහතා පැවසුවේ අද උදෑසන 6 වනවිට කාර්යාල දුම්රිය 43ක් ගමන් ආරම්භ කළ බවයි.

මුහුදුබඩ, කැළණිවැලි, හලාවත, රඹුක්කන සහ උතුරු දුම්රිය මාර්ගයන්හි එම කාර්යාල දුම්රිය ධාවනය වෙමින් ඇති බවද ඔහු කියාසිටියා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පවතින තත්ත්වය පිළිබද සොයා බැලීමට නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු චිරාන් ජීවන්ත ධර්මසේන අද උදෑසන එහි ක්‍ෂේත්‍ර චාරිකාවක නිතර වුණා.

"දුම්රිය වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවට ප්‍රකාශ කෙරුණත් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දකින්න තිබෙන්නේ වෙනදා වගේම සාමාන්‍ය තත්ත්වයක්. මගීන් සාමාන්‍ය පරිදි දුම්රිය ස්ථානයට එනවා තමන්ගේ ගමන් පහසුකම් සලසා ගැනීම සඳහා. හැබැයි කේසර, දුම්රිය ටිකට් පත් නිකුත් කිරීම අද දිනයේදී සිදු නොවන ආකාරයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. විශේෂයෙන්ම අපි අද අලුයම සිටම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තිබෙන දුම්රිය ස්ථාන කිහිපයක සංචාරය කළා. ඒ සියලුම දුම්රිය ස්ථානවල ටිකට් පත් නිකුත් කරන කවුළු වෙනදාට මගීන්ගෙන් පිරිලා තිබුණා. හැබැයි අද දිනයේදී එම ටිකට් පත් නිකුත් කරන කවුළු සියල්ලම වසා දාලා තියෙන්නේ. මේ දුම්රිය වර්ජනය නිසා දුම්රිය ස්ථානාධිපතිවරු ටිකට් පත් නිකුත් කිරීමේ කටයුත්තෙන් ඉවත් වෙලා තියෙන ආකාරය තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම ඔබ සඳහන් කළා කාර්යාලය දුම්රිය ගණනාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා ධාවනය වෙනවා කියලා. හැබැයි කේසර, නියමිත වේලාවට මේ දුම්රිය ධාවනය නොවන බව තමයි අපට තොරතුරු වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම අද උදෑසන කාලයේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණීමට නියමිතව තිබුණු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් කරන දුම්රිය නියමිත වේලාවට පැමිණෙන්න බැරි වෙලා තියෙනවා. මොකද සංඥා පද්ධතිය ක්‍රියාත්මක කිරීමටත් දුම්රිය ස්ථානාධිපතිවරු එකඟතාවය පළ කරලා නැහැ. ඔවුන් ඒ කටයුත්තෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා සිග්නල් නැතුව සංඥා නැතුව දුම්රිය ධාවනය කරන්න හරි අමාරුයි. ඒ නිසා විශේෂයෙන්ම මුහුදුබඩ මාර්ගයේ ගමන් කරන දුම්රිය අදාළ දුම්රිය ස්ථානයන් වෙත නියමිත වේලාවට පැමිණීමේ ගැටලුවක් මතු වෙලා තිබෙන බව තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ. හැබැයි මගීන් ටිකට් පත් නොමැතිව හෝ දුම්රිය ගමනේ යෙදෙන්න ලෑස්ති වෙලා දුම්රිය ස්ථානයට ඇවිල්ලා ඉන්න ආකාරය තමයි අපට දකින්න ලැබෙන්නේ. මෙයයි දැනට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තත්ත්වය. "

මේ, ගාල්ල දුම්රිය ස්ථානයේ අද උදෑසන පැවති තත්ත්වය පිළිබද තොරතුරු සොයා බැලූ නෙත් නිවුස් ගාල්ල නියෝජිත රවීන්ද්‍ර චන්ද්‍රලාල්.

" ගාල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රිය ධාවනය වන ආකාරය පිළිබඳව සොයා බලන්න අද උදෑසනම අපි ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණියා. අපිට දකින්න පුළුවන් වුණා විශාල පිරිසක් තමන්ගේ දුම්රිය පැමිණෙන තෙක් ගාල්ල දුම්රිය ස්ථානයේ සිටින බව. කෙසේ නමුත් මීට ටික වේලාවකට කලින් සාගරිකා දුම්රිය පැමිණියා. එම දුම්රියට ගමන් කිරීම සඳහා විශාල පිරිසක් සිටියා. ඒ වගේම සඳහන් කරන්න ඕන ඔවුන් කිසිවෙක් දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබාගෙන නැහැ. ඒකට හේතුව තමයි දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ස්ථාන සියල්ල වසා දමා තිබෙන්නේ. ඒ නිසා ඔවුන් අද දිනයේදී නොමිලේ ගමන් කරන ආකාරයක් තමයි දකින්න පුළුවන් වුණේ. කෙසේ නමුත් දුම්රිය වර්ජනයේ නිරත වූවන් සඳහන් කරන්නේ අද දිනයේදී දුම්රිය කිහිපයක් නැවැත්වෙන්න එහෙම නැත්නම් අඩාල වෙන්න ඉඩ තිබෙනවා කියලා. අද උදෑසන නම් සාමාන්‍ය ආකාරයෙන් දුම්රිය ධාවනය වෙනවා. අපි බලමු දවල් වෙනකොට කොහොමද තත්ත්වය කියලා. "