අද සිට බලාත්මක වන බදු සංශෝධන හේතුවෙන් දේශීය වෙළද පොළේ වාහන මිල නැවත වරක් කැපී පෙනෙන ලෙස වැඩිවනු ඇතැයි වාහන ආනයනකරුවන් පවසනවා.

වැඩි වන බද්ද මෙන්ම රුපියල අවප්‍රමාණ වී තිබීමද වාහන මිල වැඩිවීමට හේතු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වෙසෙල් වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්‍ෂ 20 කින් පමණද යාරිස් වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්‍ෂ 10 කින් පමණද වැඩිවනු ඇති බවයි ඔහු පැවසුවේ.

කුඩා වෑන් එකක මිල ද රුපියල් ලක්‍ෂ 10 කින් පමණ වැඩිවනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක මිල රුපියල් ලක්‍ෂ 50ත් 60 ත් අතර ප්‍රමාණයකින් වැඩි වනු ඇති.

වාහන මිල මෙලෙස වැඩි වුවද සිදු කෙරෙන බදු සංශෝධනය සදහා රජයට සහාය ලබාදෙන බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා වැඩිදුරටත් පැවසුවා.

ආනයනය කරනු ලබන වාහන සඳහා රේගු ආනයන බදු මත සියයක 50ක අතිරේක බද්දක් අය කිරීමටයි මුදල් අමාත්‍යාංශය තීරණය කළේ.

ඒ අනුව ආනයනික මෝටර් රථයක් සඳහා මෙතෙක් අය කළ 30%ක රේගු ආනයන බද්ද මත තවත් 50%ක අතිරේක බද්දක් පනවා තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව අද සිට මාස තුනක කාලසීමාවක් සඳහා මෙම සියයට 50ක අතිරේක බදු ගාස්තුව අය කෙරෙනු ඇති.

කෙසේ වෙතත් මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම නව 50%ක රේගු බද්ද බලනොපාන බවද සඳහන්.