සංවිධානාත්මක අපරාධ පිළිබඳ චෝදනා ලැබූ විදෙස්ගතව සැඟව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී අද අත්අඩංගුවට ගැනුණා.

මෙම සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී ගිනි අවි සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයයි.

ශ්‍රී ලංකාවෙන් බැහැරව ගොස් ඔවුන් අබුඩාබිහි සැගව සිට තිබෙනවා.

ඔවුන් එරටින් පිටුවහල් කිරීමෙන් පසුව අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේයි කටුනායක ගුවන්තොටුපළේදී ඔවුන් අත්අඩංගුවට ගැනුනේ.

මෙම සැකකරුවන් දෙදෙනා අබුඩාබිහිදී එරට ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියා.

ඔවුන් එලෙස අත්අඩංගුවට ගැනුනේ ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පහරදීමට යොදාගත් ද්‍රෝණ යානා, මිසයිල සහ ඒවා ඉලක්ක වෙත වැදී පුපුරන ආකාරය පිළිබඳ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථනවල තබාගෙන සිටියදී.

අත්අඩංගුවට ගෙන ඔවුන් බන්ධනාගාර ගත කර සිට පසුව ඔවුන් පිටුවහල් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපලේ දී ඔවුන් අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් අයෙකු අශෝකපුර, දුක්ගන්නාව ප්‍රදේශයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ බන්දුල දිසානායක නමැත්තෙක්.

ඔහු 37වන වියේ පසුවන්නකු වනවා.

අනෙක් පුද්ගලයා  බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 36වන වියේ පසුවන්නෙක්.

ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට පරෙවි සුදා නමැත්තාගේ ආධාරකරුවෙකු බව හඳුනාගෙන තිබෙනවා.

මෙම සැකකරු සියඹලාදූව පතිරණලාගේ හර්ෂ කුමාර නැමැත්තෙක්.

බූස්ස බන්ධනාගාරය තුළ කලාකාරීව හැසිරීම සම්බන්ධයෙන්ද ඔහු චෝදනා ලැබූවෙකු බවයි වැඩිදුරටත් කියවෙන්නේ.

මෙම සැකකරුවන් දෙදෙනා අද උදෑසන 10යි 15ට අබුඩාබි සිට ඉතිහාර්ට් ගුවන් සේවයේ ඊ වයි 392 දරන යානයෙන් කටුනායකට පැමිණියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්දුල දිසානායක නැමැත්තා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය වෙතත්, හර්ෂ කුමාර නැමැත්තා කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකය වෙතත් වැඩිදුර විමර්ශනය සඳහා භාරදී ඇති බවයි වාර්තා වුණේ.