ශ්‍රී පාදස්ථානයට කේබල් කාර් පහසුකම සැපයීම පිළිබඳ රජයේ අවධානය අවධානය යොමුව තිබෙනවා.
ශ්‍රී පාදස්ථානය පමණක් නොව සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන කීපයක කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කිරිමටයි අවධානය යොමුව ඇත්තේ.
ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙස කාලයක් තිස්සේ විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.
ඊට අමතරව කිකිළියාමාන, ඇල්ල ඇතුළු සංචාරක ස්ථාන කීපයක්ද එලෙස කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කළ හැකි ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා.
මෙම ස්ථානවල එම ව්‍යාපෘතිය ආරම්භ කිරිම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය කර, ඊට අවශ්‍ය මූලික අවසරයන් ලබා ගැනීමටත්, ඒ සඳහා ඉදිරිපත් කළ යුතු වාර්තා පිළිබඳව සොයා බැලීමටත් අවධානය යොමු වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ශ්‍රී පාදස්ථානය ඇතුළු සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන කීපයක කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කිරිම සම්බන්ධයෙන් විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සංචාරක කාර්යසාධන බලකායේ රැස්වීමේදී අවධානය යොමු වී තිබෙනවා.
මේ අතර, මැයි මස 25 වනදා සිට රටවල් 40කට නිදහස් වීසා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වී ඇති අතර එම පහසුකම ලබා දීමෙන් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
යාල ඇතුළු වනෝද්‍යාන 19ක සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය සඳහා වනජීවි දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ඉලක්ක සපුරාලීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා.
එමෙන්ම, කොල්ලුපිටියේ සිට මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව සංචාරක ආරක්ෂණය දිනා ගත හැකි සංචාරක කලාපයක් ස්ථාපිත කිරීම පිළිබඳවද සාකච්ඡාවට ගෙන ඇති අතර මේ වන විට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියෙන් සංචාරකයින් 2000ක් 3000ක් පමණ ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇතැයි ද ආණ්ඩුව බලාපොරොත්තු වනවා.




