නේපාලයේ ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම මූල්‍ය දායකත්වය ලබාදීමට පියවර ගෙන ඇති අතර, විපතට පත් ජනතාව වෙනුවෙන් හදිසි සහන හා මානුෂීය ආධාර සැපයීම මෙහි ප්‍රධාන අරමුණයි.
සිදුවූ ජීවිත හානි සහ දේපළ හානි පිළිබඳව ජනාධිපතිවරයා සිය බලවත් කනගාටුව පළ කර සිටින අතර, ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සංවේගය නේපාලය වෙත දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාව නේපාල ජනතාව සමඟ නිරන්තරයෙන් රැඳී සිටින බවයි.
මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නේපාල විදේශ කටයුතු අමාත්‍ය ශිෂීර් ඛනාල් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වෙමින් ශ්‍රී ලංකාවේ කනගාටුව සහ සහයෝගීතාව පළ කර තිබෙනවා
ඉදිරියේදීත් නේපාලයේ සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා ලබාදිය හැකි වැඩිදුර සහයෝගීතා පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.




