බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රදවා සිටිනවා.

එම වාට්ටුවේ තවත් සිරකරුවන් 150 ක පමණ පිරිසක් සමග ඔහු රදවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

අධිකරණයෙන් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ හිටපු අමාත්‍යවරයාද වැඩ අංශයකට යොමු කළ යුතු වනවා.

ඒ අනුව අද දිනයේ ඔහු ද වැඩ අංශයක් සදහා යොමු කිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව ඔහුද උදෑසන 6.45 සිට පස්වරු 4.15 දක්වා වැඩ අංශයක සේවය සදහා යොමු කෙරෙන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

මේ අතර බන්ධනාගාර ගත කෙරෙන සිරකරුවෙකුට රජය විසින් දිනකට රුපියල් 1,461 ක් වැනි මුදලක් වැය කරනු ලබනවා.

ඒ අනුව හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ද දෛනිකව වැලිකඩ බන්ධනාගාරය විසින් එම මුදල වැය කරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

සාමාන්‍යයෙන් සිරකරුවන්ට බන්ධනාගාරය මගින් උදෑසන ආහාරය සදහා ලබාදෙන්නේ පාන් සමග පොල් සම්බල් වනවා.

ඒ අනුව ග්‍රෑම් 135ක බරකින් යුත් පාන් සහ පොල් සම්බෝල මේස හැදි දෙකක ප්‍රමාණයක් එක් සිරකරුවෙකුට ලබාදෙන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

එමෙන්ම සීනි ග්‍රෑම් 28 ක් ද ලබාදෙනවා.

ඒ, උදෑසන සහ පස්වරුවේ තේ පානය කිරීම සදහායි.

සිරකරුවෙකුගේ දහවල් ආහාර වේලට බත් සමග මාලු, එළවළු වර්ගයක් සහ කොළ මැල්ලුමක් අයත් වනවා.

ඒ අනුව බත් ග්‍රෑම් 225ක්, මාලු ග්‍රෑම් 56 ක්, එළවළු හෝම මස් ග්‍රෑම් 56 ක් සහ කොළ මැල්ලුම් ග්‍රෑම් 28 ක් හිමිවන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

රාත්‍රී ආහාරය සදහා සිරකරුවන්ට හිමි වන්නේ ද බත් සමග ආහාර වේලක්.

රාත්‍රි ආහාර වේලට හිමි වන බත් ප්‍රමාණය ග්‍රෑම් 170 ක් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඊට අමතරව මස් හෝ මාලු ග්‍රෑම් 56ක්, ග්‍රෑම් 85කට සරිලන අල වර්ගයක් සහ ග්‍රෑම් 56කට සරිලන එක් එළවළු වර්ගයක් ලබාදෙන බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.