සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ ජිවිතය ආරක්ෂා කරදීම සඳහා රුපියල් කෝටි 12 ක අල්ලසක් ලබා ගත්තැයි කියන සිද්ධියට අදාළ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙන හඬපට කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇතැයි වාර්තා වනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම හඬ පට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවටයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ, හරක් කටාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති සහ තවත් පුද්ගලයකු අතර වූ බව කියන එම හඬපට කිහිපය තහවුරු කරගැනීම සඳහායි මෙලෙස රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇත්තේ.

හරක් කටාගෙන් මුදල් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ පුත් රඛිත රාජපක්‍ෂ ඇතුළු තිදෙනෙක් පසුගියදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ අනුව එම සැකකරුවන් තිදෙනා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටිනවා.

අදාළ හඩපට සම්බන්ධයෙන් නෙත් නිවුස් ද පසුගියදා අනාවරණ කළා.