හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මාලඹේ පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

හිටපු පොලිස්පතිවරයා අද උදැසන මියගොස් තිබුණේ ඔහුගේ මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි නිවසේදීයි.

උදෑසන 7.15ට පමණ ඔහු විසින්ම වෙඩි තබාගෙන ඔහු මියගොස් ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

මියගිය සී ඩී වික්‍රමරත්න මහතාගේ සිරුර මුල්ලේරියා රෝහල වෙත රැගෙන ගිය බව එහි සිටින නෙත් නිවුස් නියෝජිතයා පැවසුවා.

සී ඩි වික්‍රමරත්න මහතා මෙලෙස දිවි හානිකර ගෙන ඇත්තේ ඔහුගේ පුත්‍රයෙකුගේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ තැතිගැන්මක් නිසා බවට තොරතුරු ලැබී තිබෙනවා.

ප්‍රශ්නගත නඩු කටයුත්ත පෞද්ගලික කාරණාවක් සම්බන්ධයෙන් බවයි වැඩිදුරටත් කියවුණේ.

වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයායි.

පොලිස්පති ධුරයට පත්වීමට පෙර වික්‍රමරත්න මහතා දකුණු පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කර තිබෙනවා.

පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු සී ඩි වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණා.

ඉන් අනතුරුව 2020 නොවැම්බර් 25 වන දින එම තනතුරේ ඔහු ස්ථිර කරන ලද අතර, 2023 නොවැම්බර් 25 වන දින විශ්‍රාම යන තෙක් පොලිස්පතිවරයා ලෙස ඔහු සේවය කළා.