22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක් අද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ පිළිබද විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ අතර 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පලවනවා.
ඒ අදාල පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක්ම ඉදිරිපත් වී ඇති පසුබිමකයි.
මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා.
"ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා කිව්වේ, ආපහු පැලැස්තර දාන්නේ නෑ, අපි සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. අද එහෙම කියපු ජනාධිපතිවරයා තමන්ට ඕන දේ ඉෂ්ට කරගන්න කටයුතු කරනවා. මහා සංඝරත්නයට ඇහුම්කන් නොදී, මේ රටේ විද්වතුන්ට ඇහුම්කන් නොදී, මේ ඔක්කොටම ඇහුම්කන් නොදී තමයි මේක කරන්න හදන්නේ. අපි ආණ්ඩුවට දැනුම්දීමක් කරනවා, මෙච්චර එපා කියන වැඩේ කරන්න එපා, මේක දැන් හරි නතර කරන්න."
සර්ව ජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළේ තම පක්ෂයද මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති බවයි.
"අපි ප්‍රතිපත්තිමය වශයෙන් විශ්වාස කරන කාරණය තමයි, මෙම විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් බරපතල විදියට අපේ අධිකරණ ස්වාධීනත්වයට හා ඒ ආශ්‍රිත කරුණුවලට බලපෑමක් සිද්ධ වෙනවා කියලා. මේ කරුණ සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල අවිශ්වාසයක් ගොඩනැගිලා තිබෙනවා. ඒ නිසාම අධිකරණ පද්ධතිය තුළ සහ ගරු විනිශ්චයකාරතුමන්ලා පිළිබඳ තිබුණු ඒ ගෞරවය නැතිවිතීමට විශාල වශයෙන් ඉඩ තිබෙනවා. ඉතින් ඒ නිසා අපි පෙත්සමක් ඉදිරිපත් කරන්නේ."
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත යට දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බවයි.
"රටේ ආර්ථික වර්ධනයක් ඇති කරගන්න, ඵලදායිතාවයේ වර්ධනයක් ඇති කරගන්න, ඩොලර් ප්‍රමාණය වැඩි කරගන්න මොනම ආර්ථික උපක්‍රමයක්වත් නැති බව තමයි පේන්නේ. ඉතින් ඒ නිසා ඒක අර්බුදයක් බව ඔවුන් දන්නවා 2028දී තියෙනවා කියලා. ඒ නිසා තමයි මම පූර්වකථනය කරලා තියෙන්නේ 2027 අගදී ජනමත විචාරණයක් තියලා පාර්ලිමේන්තුවේත් ඒ වගේම ජනාධිපතිගේ කාලය දීර්ඝ කරගැනීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒකට තමයි මේ 22වෙනි සංශෝධනය ගෙනැල්ලා තියෙන්නේ. ඒක පරාජය කිරීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාට, මාලිමාවත් ඇතුළු වගකීමක්."
කෙසේ වෙතත් විපක්ෂය එල්ල කරන චෝදනාවන්ට අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා ප්‍රතිචාර දැක්වුවා. ඔහු පැවසුවේ විපක්ෂය එල්ල කරන චෝදනා පදනම් විරහිත බවයි.
"සාමාන්‍යයෙන් ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක වගකීම් සහිත විපක්ෂයක් ඉන්නවනේ. මොකක්ද? වැරැද්ද විවේචනය කරන්නත්, හොඳ දේට සහාය දෙන්නත්, ඒ විවේචන කිරීමේදී කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් (Constructive criticism) - එහෙම එකක් කරනවා. නමුත් ඔබ දන්නවා අපේ ඉන්න විපක්ෂය කියන්නේ තන්නිකරම ක්‍රෝධයෙන්, වෛරයෙන් පිරිලා, ආණ්ඩුව හෙට වට්ටන්න, අනිද්දා වට්ටන්න බලන් ඉන්න කට්ටියක්. ඒකට හේතුවත් ඔබට පැහැදිලිව පේනවා. ඒ හේතුව තමයි නඩු කටයුතු වේගවත් වීම. ඒ නිසා මේ විපක්ෂය හුදෙක්ම සර්කස් එකක් මිසක් ජනතා සුභසිද්ධිය වෙනුවෙන් වැඩකරන පක්ෂයක් නෙමෙයි."




