පාර්ලිමේන්තුව අද පෙරවරු නවයයි තිහටයි යලි රැස්වෙනවා.

මෝටර් වාහන පනත යටතේ අංක 2248/22 සහ 2014 2014/19 දරණ අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් අනුමතය සඳහා අද දින විවාදයට ගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව පස්වරු පහේ සිට පහයි තිහ දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහාද කාලය වෙන් කර තිබෙනවා.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පසුගිය සතියේ එම පෙත්සම් විභාගයෙන් අනතුරුව කතානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා.

එම තීරණය ලැබී තිබුණහොත් ඇතැම් විට අද දිනයේදී කතානායකවරයා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාවක් පවතිනවා.

කෙසේ වෙතත් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව ඊයේ වාර්තා වුණා.

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වූ දුලාර ගුණතිලක සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහත්මවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් දුලාර ගුණතිලක නමැති පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බවයි.

එහෙත් එම පෙත්සම විභාගය සඳහා විවෘත අධිකරණයේ කැඳවීමක් සිදු නොවූ බවත් පෙත්සම්කරුවන් පවසනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කතනායකවරයා වෙත දැනුම්දීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුවට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද තහවුරු කර තිබෙනවා.

තමාට ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණධීර මහත්මියගෙන් ඊයේ දින ඉල්ලීමක් කර තිබූ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ.

එම ලිපියට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසට පාර්ලිමේන්තුව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දීමක් කර ඇති බවද ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පැවසුවා.

ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටින නාමල් රාජපක්‍ෂ මහතා විශේෂ ආරක්‍ෂාවක් යටතේ අද පාර්ලිමේන්තුවට රැගෙන යන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.