Published
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස කළ ඉල්ලීම් පිළිබඳ තීරණය ප්‍රකාශ කිරීම සඳහා පෙත්සම් විභාගය විනාඩි 15 කට කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
එම පෙත්සම් අද විභාගය සඳහා අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එස්.ඒ. සුමන්තිරන් මහතා මෙම ඉල්ලීම කළා.
ඒ අනුව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය සිටින සියලු විනිසුරුවරු අසුන් ගෙන මෙම පෙත්සම් විමසීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඊට අමතරව තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි ශබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරු විසින් මෙම ඉල්ලීම සිදුකළා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් විනිසුරු මඩුල්ලක සංයුතිය තීරණය කිරීමේ බලය අග විනිසුරුවරයා සතු බව පෙන්වා දුන්නා.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව යටතේ විනිසුරු මඩුල්ලක විනිසුරුවරු සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය අග විනිසුරු සතු වන පෙන්වා දුන් සොලිසිටර් ජෙනරාල් වරයා මෙම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වීමට වෙනත් පාර්ශවයකට හැකියාවක් නොමැති බවත් සඳහන් කළා.
අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා ඇතුළු නීතිඥවරු විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විනිසුරු මඩුල්ලක සංයුතිය සම්බන්ධයෙන් තීරණය කිරීමේ අභිමතය අග විනිසුරු සතුවන බව පෙන්වා දුන්නා.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මේ බව ප්‍රකාශ කළා.




