ලොව ප්‍රමුඛ පෙළේ ආයතන 178ක පමණ වෙබ් අඩවි ඉලක්ක කරගනිමින් භයානක සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා

BBC, CNN, HSBC UAE බැංකුව, Air France, IKEA, Zoom, Salesforce සහ Equifax ඇතුළු ප්‍රසිද්ධ වෙබ් අඩවි රැසක් මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා

Report URI හි නිර්මාතෘ සහ ආරක්ෂක පර්යේෂක ස්කොට් හෙල්ම් (Scott Helme) අනාවරණය කර ඇත්තේ, මෙම සමාගම් භාවිත කරන ‘Optimizely’ ඩිජිටල් වේදිකාවේ JavaScript කේතයට හැකර්වරුන් හානිකර කේත ඇතුළත් කර ඇති බවයි.

මේ හරහා පරිශීලකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු, ක්‍රිප්ටෝ මුදල්, බ්‍රවුසර් කූකීස් සොරකම් කිරීමට සහ පැරණි Apple උපාංගවලට හානි කිරීමට උත්සාහ කර තිබෙනවා.

පැය 9ක් තුළ ප්‍රහාරකයන්ගේ ක්‍රිප්ටෝ පසුම්බි වෙත ඩොලර් 7,040ක පමණ මුදලක් ලැබී ඇතත්, සැබෑ ලෙසම මූල්‍ය හානියට පත් වූ පිරිස අවම මට්ටමක පවතින බව ඔහු පෙන්වා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.

ZeroFox ආයතනයේ තර්ජන පර්යේෂණ ප්‍රධානී පීටර් ලෝ (Peter Lowe) සහ IGEL සමාගමේ ක්ෂේත්‍ර ප්‍රධාන තාක්ෂණ නිලධාරී ජෝන් වොල්ෂ් (John Walsh) පෙන්වා දෙන්නේ, මෙය විශ්වාසදායක තෙවන පාර්ශ්ව සැපයුම්කරුවෙකු හරහා එල්ල වූ ප්‍රහාරයක් බවයි.

මේ වන විටත් Optimizely සමාගම අදාළ ආරක්ෂක දුර්වලතාව අවහිර කර හානිකර කේත ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, Equifax සමාගම එම වේදිකාව භාවිතය නතර කර තිබෙනවා.