අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදා ගනිමින් විවිධ මාධ්‍ය ආයතන සහ පුවත් වෙබ් අඩවිවල නිල ලාංඡන ද ව්‍යාජ ලෙස භාවිත කර නිර්මාණය කළ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව අනාවරණය වී ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය විසින් අදහස් දක්වන පරිදි සකස් කළ ව්‍යාජ වීඩියෝ දර්ශන, අග්‍රාමාත්‍යවරියගේ ඡායාරූපය ඇතුළත් කර සකස් කරන ලද ව්‍යාජ පෝස්ට් සමාජ මාධ්‍ය ඔස්සේ කිසියම් පිරිසක් විසින් පළ කර ඇති අතර ඒ මගින් විවිධ ව්‍යවසායක අවස්ථා, රැකියා අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් නිර්මාණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

කෘත්‍රීම බුද්ධිය (AI) සහ නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කර ඇති අතර එවැනි පුවත්වලට නොරැවටෙන ලෙසත්, ඒ පිලිබඳ අවධානයෙන් සිටින ලෙසත් සියලු ජනතාවගෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ඉල්ලා සිටිනවා.

රජයට සහ අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලිකත්වයට හානි වන පරිදි මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කරන සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරින සියලු දෙනාට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩ්දුරටත් සදහන්.