ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 7ක මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා නමැත්තා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔහු කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් කණ්ඩායමක් විසින්.

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා ඔහු විසින් රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සුද්දා කඩුවෙල ප්‍රදේශයේ රැඳි සිටින බවට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගැනීමට යාමේදී විමර්ශන නිළධාරීන් මගහරිමින් සිය පුද්ගලික රථයෙන් පළායාමට ද ඔහු උත්සාහ කර තිබෙනවා.

සැකකරු බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයෙකුද වනවා.

සංචාරක වීසා මගින් පුද්ගලයින් ඩුබායිහි රැකියා සඳහා යොමුකරන බව පවසමින් සැකකරු සමාජ මාධ්‍ය භාවිත කරමින් මෙම ජාවාරමේ නිරතව ඇති බවටයි වාර්තා වුණේ.

ඒ සම්බන්ධයෙන් ඩුබායි සුද්දා නමැත්තා මීට පෙරද විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.